ඉරාකයට තවත් හමුදාව යවනවා -ඔබාමා

Image copyright AP

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එරෙහි සටනට සහයෝගය ලබා දීම සඳහා තවත් ඇමරිකානු භටයන් 1500 ක් ඉරාකයට යවන බව එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පවසයි.

මෙම භට පිරිස යුද බිමට නොයන උපදේශකවරුන් වුවත් ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරාක හමුදාවට ඔවුන්ගේ සහාය ලබා ගත හැකි බවයි ජනාධිපති ඔබාමා රුපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ.

ගුවන් ප්‍රහාර

ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව ඉරාකයේ සිදු වන සටනට පසුගිය අගෝස්තු මාසයේ පටන් එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් යුත් ඒකාබද්ධ හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඉරාක හමුදාවට සහයෝගය ලබා දෙමින් සිටිති.

ඉරාකයේ උතුරුකරයේ දී ඉස්ලාමීය රාජ්‍ය කැරලි නායකයන් රැස් වූ ස්ථානයකට පසුගිය සිකුරාදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් රථ පෙළක් විනාශ කර දැමු බවද එක්සත් ජනපද බලධාරීහු ප්‍රකාශ කරති.

මෙම ප්‍රහාරයේදී ඉස්ලාමීය රාජ්‍ය කැරලි නායකයා තුවාල ලබා ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති නමුත් එය තවම සනාථ වී නැත.