චෙන්නායි ‘හාදු’ වැස්ස

දකුණු ඉන්දියාවේ ‘චෙන්නායි’, ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීමේ වැඩසටහනක්(kiss of love)සම්පාදනය කල අලුත් ම නගරයයි.

එම ‘හාදු’ වැඩ සටහන සංවිධානය කෙරුණේ, සිප වැළඳ ගැනීම් ගැන පවතින ආකල්පයේ වෙනසක් සහ මහජනයා ඒ කෙරෙහි දක්වන ලැදියාව ප්‍රදර්ශනය කිරීමටයි.

චෙන්නායි ITT විද්‍යායතනයේ සංවිධානය කොට තිබුණ ‘හාදු’ වැඩ සටහනට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සීයක් පමණ සහභාගී වූ බවයි බීබීසී දෙමළ සේවයේ කේ.මුරලිතරන් වාර්තා කරන්නේ.

ඔවුන්ගෙන් ඇතැමෙක් සිප වැළඳ ගැනීමේ නිරත වුන අතර තවත් අයඊට අකමැති වූ බවත් කේ.මුරලිතරන් වාර්තා කරයි.

ඇතැමකු ගේ අදහස වන්නේ ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීම ඉන්දියාවට නොගැලපෙන බවයි.

ඔවුන් කියා සිටින්නේ එය රාගය පිළිබිඹු කරන්නක් වන බවයි.

සහයෝගය පළ කිරීමට

මෙයින් සති දෙකකට පෙර කේරලයේත් ‘හාදු දීමේ’ මෙවැනි වැඩ සටහනක් සංවිධානය කෙරුණත් පොලිසියේ විරෝධය නිසා එය නතර කිරීමට සිදු විය.

එහෙත් ඉන් අනතුරුව නව දිල්ලිය,මුම්බායි සහ හයිද්‍රාබාද් වැනි නගර කීපයකම සමූහ ‘හාදු’ වැඩ සටහන් දියත් කොට තිබුණි.

කේරලයේ ආපන ශාලාවක සිප වැළඳ ගනිමින් සිටි යුවළකට පහර දීමේ සිද්ධියක් රූපවාහිනිය මගින් වාර්තා කරනු ලැබීමෙන් පසුවයි, ,”kiss of love’ ව්‍යාපාරය ආරම්භ කෙරුනේ.

විරෝධතාවාදීන් කියා සිටියේ ඉන්දියාව තුල ප්‍රසිද්ධයේ සිප වැළඳ ගැනීම පිළිගත නොහැකි බවයි.

එම ආකල්පයේ වෙනසක් සඳහායි ,”kiss of love’ ව්‍යාපාරය ආරම්භ වුණේ.