එල්ටීටීඊ කළු සල්ලි පරීක්ෂණය අවසන් නෑ - ස්විට්සර්ලන්තය

Image caption "එල්ටීටීඊ ය සම්බන්ධයෙන් 2011 දී ආරම්භ කරන ලද අපේ පරීක්ෂණය තවමත් පැවැත්වෙනවා."

දෙමළ කොටි සංවිධානයට ආධාර කිරීමේ චෝදනාව මත සැකකරුවන් පිරිසකට එරෙහිව 2011 දී ආරම්භ කරන ලද අපරාධ පරීක්ෂණය තවමත් නිමා වී නැති බව ස්විට්සර්ලන්ත බලධාරීහු පවසති.

"කළු සල්ලි ජාවාරම, කප්පම් ගැනීම සහ අපරාධ සංවිධානයකට සහාය දීමේ" චෝදනාව යටතේ ආරම්භ කරන ලද එම පරීක්ෂණය තවමත් පැවැත්වෙන බැවින් වැඩි විස්තර හෙළි කළ නොහැකි බවයි, ස්විට්සර්ලන්ත නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ජෙනට් බාමර් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

එමෙන්ම ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සිදු කළ ෂෙල්වාසුග් සමාගමේ ප්‍රධානී පීටී තුරෙයිරාජා ස්විට්සර්ලන්තයේදී අත්අඩංගුවට ගනු ලැබූ බවට හෝ එම සමාගම සහ එල්ටීටීඊය අතර සම්බන්ධයක් තිබූ බවට නීතිපති දෙපාර්තමේන්තුව සතුව තොරතුරු නැති බවත් ප්‍රකාශිකාව සංදේශය යොමු කළ ඊමේල් පණිවුඩයකට පිළිතුරු දෙමින් සඳහන් කරන්නීය.

මේ පිළිබඳව සාකච්ඡාවක් ලබාදීම ජෙනට් බාමර් ප්‍රතික්ෂේප කළාය.

එල්ටීටීඊ සංවිධානය සමඟ තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව ෂෙල්වාසුග් සමාගමේ ප්‍රධානී පීටී තුරෙයිරාජා පසුගිය ඔක්තෝබර් 22 වැනි දින සංදේශයට කියා සිටියේය.

කෙසේ නමුත් ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන් ෂෙල්වාසුග් සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කොට නැති බවත් 2012 දී සිදු කරන ලද ආණ්ඩුවේ විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 'සිවා ට්‍රැවල්ස්' නම් සමාගමකින් කිහිප වතාවක්ම ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන තිබෙන බවත් පෙන්වා දෙන විගණන වාර්තාව, සිය සොයාගැනීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන මෙන් නිර්දේශ කොට තිබේ.

එම විගණන වාර්තාව ආණ්ඩුව විසින් තවමත් ප්‍රකාශයට පත් කොට නොමැති අතර, එවැනි වාර්තාවක් පවතින බව මුලින්ම හෙළි කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර