බිලිඳු මරණවලට ප්‍රධාන හේතුව නොමේරූ දරු උපත්

Image copyright AP

ලොව පුරා සිදු වන ළමා මරණවලට ප්‍රධානතම හේතුව නොමේරූ දරු උපත් බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

දරු ගැබට නිසි කල් පිරීමට පෙර සිදු වන උපත් නිසා වසරකට ලොව පුරා මිලියනයකට අධික බිලිඳු මරණ සංඛ්‍යාවක් සිදු වන බවයි එම සමීක්ෂණ වාර්තාව සඳහන් කරන්නේ.

මින් වැඩිම බිලිඳු මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර බටහිර අප්‍රිකාව ද පවතින අතර එහි පැතිර යන ඉබෝලා වසංගතය නිසා මේ අවදානම තවත් ඉහල ගොස් තිබේ.

ගැබ තුළ නියමිත කාලය ගත නොකළ දරුවන්ගේ පෙනහළු, මොළය සහ අනෙකුත් අභ්‍යන්තර අවයව නිසි පමණට වැඩී නැති හෙයින් ඔවුන් අනතුරට ලක් වීමේ ඉඩ කඩ ඉතා ඉහලය.

දරු උපත්වලදී සිදු වන වෙනත් ආකූලතා නිසාද ලොව පුරා තවත් බිලිඳු මරණ හත් ලක්ෂයක් පමණ සිදු වන බව සඳහන්.

නියුමෝනියාව වැනි වසංගත රෝගවලට ගොදුරු වීම ද ළමා මරණ සිදු වීමට තවත් ප්‍රධාන හේතුවකි.