දේශගුණ වෙනස්වීම් වෙනුවෙන් ගෝලීය අරමුදලක්

Image copyright Reuters

දේශගුණ වෙනස් වීම් හේතුවෙන් ඇති වන විපත් වැළැක්වීමට සහ කාබන් වායුව නිකුත් නොකරන හරිත තාක්ෂණය වැඩි දියුණු කිරීම මගින් ගෝලීය උණුසුම පාලනයට, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට අයදුම් කළ හැකි අරමුදලක් පිහිටුවා ගැනේ.

බර්ලින් නුවරට රැස්වූ ලොව සංවර්ධිත රටවල් විසින් පිහිටුවා ගෙන ඇති අරමුදල ඩොලර් බිලියන නමයකට අධිකයි.

ලෝක ව්‍යාප්ත අරමුදලක්

අරමුදල ක්‍රියාත්මක වන අකාරය පිළිබඳව අදහස් දක්වන, බීබීසී පාරිසරික වාර්තාකරු නවීන් කද්ඛා පැවසුවේ මෙය දේශගුණ වෙනස් වීම් වෙනුවෙන් වෙන් කළ ලෝක ව්‍යාප්ත අරමුදලක් බවයි.

“දේශගුණ වෙනස්වීම් වෙනුවෙන් මේ අරමුදල භාවිතා කළ හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ලොව පුරා රටවල් වලට ගෝලීය උණුසුම වැඩි වීමට බලපාන කාබන් ඇතුළු වායු නිපදවීමෙන් තොරව භාවිතා කළ හැකි හරිත තාක්ෂණය වැඩි දියුණු කිරීමට අරමුදල් සැපයීම. මෙමගින් හැකි වෙනවා ගෝලීය උණුසුම වැඩි වීම යම් තරමකට පමා කරන්න”

ගෝලීය උණුසුම මගින් ඇති කරන ස්වාභාවික ආපදා වලින් මිදීමට පියවර ගැනීම, දෙවන පියවර ලෙස විස්තර කළ ඔහු ගංවතුර සහ නාය යාම් පාලනය, මුහුදු ජල මට්ටම ඉහල නැගීම පාලනයට ගල් වැටි ඉදි කිරීම යනාදිය උදාහරණ ලෙස දක්වා සිටියේය.

සංවර්ධිත රටවල වගකීම

සාමාන්‍යයෙන් අරමුදල් සපයන්නේ සංවර්ධිත රටවල් වුවත් ඔවුන් මුදල් සපයන්නේ පොහොසත් බව නිසා නොවන බව මෙහි විශේෂත්වය බවයි ඔහු පැවසූවේ.

ගෝලීය උණුසුම ඉහල යාමට බලපාන ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදු වන්නේ මේ රටවල නිසා ඒ වෙනුවෙන් ඔවුන්ට අරමුදල් සැපයීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

අරමුදලෙන් මුදල් ලබා ගත හැකි රටවල් වෙන්නේ, දේශගුණ වෙනස් වීම් වලින් දැඩි ලෙස පීඩා විඳින සහ තර්ජන වලට ලක් වී සිටින රටවල්.

උදාහරණයක් විදිහට දූපත් ලෙස පවතින රටවල් මුහුදට යට වීමේ තර්ජනයට ලක්ව ඇත.

එසේම කඳු වලින් ගොඩ නැගුණු රටවල් දිගින් දිගටම නාය යාම් වලට ලක් වෙයි.

'ශ්‍රී ලංකාවටත් අයැදුම් කළ හැකියි'

Image copyright EPA
Image caption ශ්‍රී ලංකාවේ බදුල්ල ප්‍රදේශයේ සිදු වූ නාය යාම්

සංවර්ධනය වන රටවලට දේශගුණ වෙනස් වීම් පාලනය හෝ වැළැක්වීම වෙනුවෙන් දියත් වන ව්‍යාපෘති වලට මුදල් ලබා ගැනීමට අයැදුම් කළ හැකියි.

“ඒ වෙනුවෙන් ක්‍රම වේදයක් සැකසීම, මුදල් දෙන්නේ මොන රටවලටද? අයදුම් පත් සලකා බලන ආකාරය වැනි දේවල් තවමත් නිසි ලෙස තීරණය වී නැහැ. නමුත් දේශගුණ වෙනස් වීම් වෙනුවෙන් පිහිටවපු මෙවැනි අරමුදල් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වී නැති බවයි පෙනී යන්නේ. අරමුදල් ලද ව්‍යාපෘතීන් ඉතා ස්වල්පයක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් වැදගත් ප්‍රශ්නය තමයි නව අරමුදල කෙසේ ක්‍රියාත්මක වෙයිද කියන එක?,” බීබීසී පාරිසරික වාර්තාකරු නවීන් කද්ඛා පැවසුවේය.

දරුණු නියඟයකට මුහුණ පෑ එසේම ගංවතුර සහ නාය යාම් වලට මුහුණ දුන් ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන් අයැදුම් කිරීමට කිසිදු බාධාවක් නැති නමුත් ප්‍රශ්නය අයදුම් පත් සලකා බැලීමට සහ මුදල් ලබා දීමට කොපමණ කල් ගත වේද යන්න බවයි ඔහු සඳහන් කළේ.

“අනිත් කරුණ තමයි මුදල් ලබා ගැනීමට විශාල තරඟයක් ඇතිවෙයි. මොකද මින් පෙර අරමුදල් වෙන් වුනේ දුප්පත් රට වලට නමුත් නව අරමුදල වෙනුවෙන් ඉන්දියාව වැනි සීග්‍ර වර්ධනයක් සහිත රටවලත් අයදුම් කරන්න පුළුවන්. ඒ නිසා තරඟය වැඩියි,” බීබීසී පාරිසරික වාර්තාකරු නවීන් කද්ඛා තවදුරටත් පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර