ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපේ පපුව ඩිග් ඩිග් ගෑවා - අලුත්ගමහේ

තමාට සහයෝගය දක්වන සහෝදර පක්ෂ සමග එක් වී වෛරයෙන්, චරිත ඝාතනවලින් තොර ගෞරවනීය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකට යොමු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද කෝට්ටේ නාග විහාරයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් සමග සාකච්ඡාවක නිරත වෙමිනුයි ඒ බව කියා සිටියේ.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මන්ත්‍රීවරයාද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

නව යුගයක්

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය යෙදී ඇති ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ හා එක්ව නව පරිවර්තන යුගයක් වෙත පා නගන බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වී ගිය පිරිස් සම්බන්ධ රහසිගත ලිපි ගොනු තමා සතුමුත් ඒවා කිසි දිනක හෙළි නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේය.

ආණ්ඩුවේ සිට විපක්ෂය හා එක් වන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අනුරාධපුරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ.

රහස් ලිපි ගොනු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට වෙනත් පක්ෂ හා එක් වූ පක්ෂ ක්‍රියාකාරීන් අතීතයේද සිටි බව ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය.

ඒ අතර හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වමේ බල වේග විපක්ෂයේ සන්ධානයට රැවටෙන්නේ නැති බව ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මේ අතර පැවසුවේය.

බටහිර බලවේග විසින් සංවිධානය කරන ලද එල්ටීටීඊ ගිවිසුමට අතුරළියේ රතන හිමියන්ද රැවටී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉවත්ව යන අවස්ථාවේ තමා තැති ගත් බවත් ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත් ගමගේ සඳහන් කළේය.

මේ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හදිසි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේය.