ෆිල් හ්යුජ්ස් තවමත් අසාධ්‍ය තත්වයක

Image copyright AFP

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී තුවාල ලද ඕස්ට්‍රේලියානු පිති කරු ෆිල් හ්යුජ්ස් ඉතාම අසාධ්‍ය තත්වයක පසු වෙන බවයි වාර්තා වෙන්නේ.

සිඩ්නි නගරයේ පැවැත්වුන පළමු පන්තියේ අභ්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟයක දීයි ඔහු තුවාල ලද්දේ.

නිව් සවුත් වේල්ස් ක්‍රීඩා සමාජයේ පන්දු යවන ක්‍රීඩක සාන් ඇබට් විසින් එවන ලද ‘බවුන්සර්’ පන්දුවකට පහරක් එල්ල කළ අවස්ථාවේ එම පන්දුව ඔහුගේ හිසෙහි වැදී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රථමාධාර ලද ක්‍රීඩකයා අනතුරුව රෝහල් ගත කරනු ලැබ විනාඩි අනූවක ශල්‍ය කර්මයකින් අනතුරුව වෛද්‍යමය උපදෙස් අනුව සිහි සුන් තත්වයක තබා ඇති බව ඕස්ට්‍රේලියානු රෝහල් ආරංචි මාර්ග වලින් පැවසෙයි.

පිතිකරු ෆිල් හ්යුජ්ස් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී පැළඳ සිටි ආරක්‍ෂක හිස්වැස්ම පැරණි මෝස්තරයේ නිර්මාණයක් වන අතර එය හිසෙහි සුරක්‍ෂිතභාවය සහතික වීම අතින් අද ඇති නවීනතම ආරක්‍ෂක හිස්වැස්මක් නොවන බවයි එය නිර්මාණය කර ඇති සමාගම පවසන්නේ.

අනාරක්‍ෂිත හිස්වැස්මක්

Image caption ෆිල් හ්යුජ්ස් අනතුරට ලක් වූ මොහොත.

පැයට කිලෝමීටර් එකසිය පනහකට ආසන්න වේගයකින් එමින් තිබිණැයි අදහස් කෙරෙන පන්දුව ආරක්ෂක හිස්වැස්මේ පහළ දාරය අසලින් ක්‍රීඩකයාගේ හිස් කබලේ පහළ කොටසේ වැදී ඇති බවයි සැලකෙන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන පිති කරුවන් සහ විකට්ටුව අසල අනතුරු දායක තැන්වල පන්දු රැකීමේ නිරත වෙන ක්‍රීඩකයන් සඳහා මෙයින් වසර තිස් පහකට පෙර ආරක්‍ෂක හිස් වැසුම් නිර්දේශ කරනු ලැබීමෙන් අනතුරුව මෙවැනි අනතුරු වාර්තා වන්නේ ඉතා ම කලාතුරකිනි.

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ලෝලීන් අනතුරට ලක් වූ පිතිකරු ෆිල් හ්යුජ්ස් වෙනුවෙන් නිරෝගීභාවය පතන අතර මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ද ඊට එක් ව සිටිති.