බටහිර අප්‍රිකාවේ මුහුදු කොල්ලකෑම් වැඩි වෙයි

Image caption නයිජීරියා සහ යාබද බෙනින් සහ ටෝගෝ මහුදු ප්‍රදේශ අධි අනතුරුදායක මුහුදු ප්‍රදේශ ලෙසටයි නම් කර ඇත්තේ.

මේ වන විට බටහිර අප්‍රිකාවේ මුහුදු කොල්ලකරුවන් විසින් කරනු ලබන කොල්ලකෑම් ප්‍රමාණය සෝමාලියානු කොල්ලකරුවන් විසින් කරනු ලබන කොල්ලකෑම් ප්‍රමාණයට වඩා වැඩි බවටයි වාර්තා වන්නේ. බී බී සී යේ මේරි හාපර් නයිජීරියාවට ගොස් කළ විමසුමක් සංදේශයට සකස් කළේ එස් එල් සෙනෙහෙධීර.

පසුගිය වසරේ පමණක් තුන්සීයකට වැඩි මහුදු යාත්‍රිකයෝ පිරිසක් ගිනීයා බොක්ක ප්‍රදේශයේදී ප්‍රාණ ඇපකරුවන් ලෙස මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලා ගනු ලැබිණි.

මෙසේ අල්ලා ගනු ලැබූ නාවික සේවකයින් අතරින්වැඩි මුදල් ප්‍රමාණයකට කේවෙල් කළ හැකි යැයි සිතෙන සේවකයන් ජාතිකත්වය අනුව වෙන්කර තබා ගන්නා අතර සෙසු පිරිස් ඝාතනයට ලක්වන බවයි පැවසෙන්නේ.

එසේ වෙන් කර ගනු ලබන පිරිස වාසනාවන්තයන් ලෙස සලකනු ලබන්නේ ඔවුන් නොමරා තබා ගැනීමට කොල්ලකරුවන් කැමත්තක් දක්වන බැවිණි.

රෝතිමි ජෝර්ජ් යනු නව්කාවක සේවය කරන නියාමක නිලධාරීවරයෙක්.

පසුගිය අගෝස්තු මස නයිජීරියාවේ වෙරළ තීරය හරහා යද්දී ඔහුගේ නැව මුහුදු කොල්ල කරුවන්ගෙ ප්‍රහාරයකට ලක්වුණි.

“පාන්දර දෙකට විතර මට ඇහුන කව්රුහරි මගේ දොරට තඩිබානවා. බුම් බුම් බුම්, පයිරට් ඇටැක් !පයිරට් ඇටැක් ! මම බය වුනා හොඳටම, කොල්ලකාරයෝ අපේ යාත්‍රාවේ තට්ටුවට නැගල කොල්ලකන්න පටන්ගත්ත. අපේ සේවක මණ්ඩලයේ අයටත් ඔවුන් පහර දුන්න. ඊටපස්සේ අපේ කපිතාන්වරයවයි ප්‍රධාන නිලධාරියයි ඔවුන්ගේ අත් අඩංගුවට ගත්ත. අපේ කපිතාන් රුසියාවේ එක්කෙනෙක්. ප්‍රධාන නිලධාරියා යුක්රේන ජාතිකයෙක්. ඒ දෙන්නව වරායට අරන් ගිහිං දවස් කීපයක් තියා ගත්ත. දැන් ඒ දෙන්නව නිදහස් කරල හොඳින් ඉන්නව” යනුවෙන් ඔහු පැවසීය.

කොල්ලකෑම පහසුයි

නයිජීරියාවේ විශාලතම නගරය වන ලාගොස් වලින් බෝට්ටුවක නැගී යන ඕනෑම අයෙකුට මේ විදියට ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගැනීම කෙතරම් පහසුදැයි වටහාගතහැකි බවයි මාරි පවසන්නේ.

තදබදය සහිත ලාගොස් වරායට ඇතුල් වීමට පෙළ ගැසී සිටින නැව් අතරින් සමහරක් නැව් වල තට්ටුව ජාල මට්ටමට කිට්ටුවෙන් පවතින බැවින් කොල්ලකරුවන්ට පහසුවෙන් ඒවාට ඇතුල්වියහැකිවෙයි.

කෙනෙක්ව පැහැර ගැනීම මෙන්ම භාණ්ඩ පුරවා ඇති බහලු හොරකම් කිරීමද කොල්ල කරුවන් අතින් සිදුවෙයි.

නයිජීරියාවේ ධීවර කර්මාන්තය විනාශවී ඇත්තේ මේ මුහුදු කොල්ලකරුවන් නිසා බවයි පැවසෙන්නේ.

ධීවර ව්‍යාපාරයේ ඉතිරිවී සිටින ඉතාම සුළු පිරිසෙන් එක් අයෙකු වන ට්‍රෝලර් යාත්‍රා රැසක් හිමි මාගරට් ඔනෙයිමා ඔරක්වුසි පවසන්නේකොල්ලකරුවන්ගෙන් යාත්‍රාවල සේවකයන්ට කිසිදු අනුකම්පාවක් නොලැබෙන බවයි.

අමානුෂික ලෙස මරා දැමෙයි

“මේ කොල්ලකරුවන්ගේ ප්‍රහාර හරිම අමානුෂිකයි. ඔවුන් ඉතා භයානකයි. ට්‍රෝලර් යාත්‍රාවේ තට්ටුව උඩ තියනව ශීත කාමරයක්. සමහර වෙලාවට කපිතාන්වයි ප්‍රධාන ඉංජිනේරුවයි දෙන්නව මේ ශීතකරණය ඇතුලට දානව. ඔවුන් සීතලෙන් මැරිල යනව. නැවක් අල්ල ගත්තට පස්සෙ පුපුරණ ද්‍රව්‍ය නැවට සවිකරනව. ඊට පස්සෙ ප්‍රාණ ඇපකරුවන් බේරාගන්න ඉදිරිපත්වන අයත් එක්ක කෙවෙල් කරනව. ඔබට වෙඩි සද්ද කිහිපයක් ඇහුනොත් ඒ කියන්නෙ ඔවුන් ඔබේ සේවක මණ්ඩලයෙන් එක්කෙනෙක් දෙන්නෙක් මරල කියන එක” යනුවෙන් ඇය පැවසුවාය.

මේ මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර වැඩිවීම භාණ්ඩ මිල ඉහළයාමට හේතුවක් ලෙස සැලකේ.

නයිජීරියා සහ යාබද බෙනින් සහ ටෝගෝ මහුදු ප්‍රදේශ අධි අනතුරුදායක මුහුදු ප්‍රදේශ ලෙසටයි නම් කර ඇත්තේ.

ඒ හරහා යන යාත්‍රා කිරීම් වල රක්ෂණ මුදල ඉතා ඉහල මට්ටමක පවතින බැවින් අහාර වල, ඉන්ධන වල සහ බටහිර අප්‍රිකා මුහුදු හරහා රැගෙන එන සියලුම භාණ්ඩ වල මිල ඉහළ නැගීම නොවැලැක්විය හැකි බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර