ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියාවේ 'වාරියපොළ ප්‍රහාරය': තිදෙනෙක් අල්ලයි

ඉන්දීය සහෝදරියන් දෙදෙනෙක් තරුණයන් තිදෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍ය පුරා පැතිර යයි.

ධාවනය වෙමින් තිබූ බස් රථය තුළදී ඉහත කී තරුණයන් විසින් තමා ලිංගික හිංසනයට ලක් කළ බව තරුණියෝ කියා සිටිති.

පහර දීමේ චෝදනා මත තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

වීඩියෝ දර්ශනයේ සිටින සිසුවියෝ දෙදෙනා විසි දෙවන වියේ සහ දහනව වන වියේ පසු වෙති.

ලිංගික හිංසනයට

තරුණයින් තමාට තර්ජනය කර ලිංගික හිංසනයට ලක් කළ බවත් එක් සහෝදරියක් බීබීසී හින්දි සේවයට පැවසුවාය.

‘ඒ මිනිස්සු මාව ලිංගික හිංසාවට ලක් කරමින් මාව ස්පර්ශ කරන්න පටන් ගත්තා. ඔවුන්ට මම කිව්වා නැවත ස්පර්ශ කළොත් මට ඔවුන්ට පහර දෙන්න සිදු වෙයි කියලා’ යනුවෙන් ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

බස් රථයේ සිටි අනෙකුත් මගීන් තමාට උපකාර කිරීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් හිංසාවට එරෙහි වී තරුණයන්ට පහර දීමට තීරණය කළ බවත් එක් සහෝදරියක් කියා සිටියාය.

‘බස් එකේ ගමන් කරපු එක් අයෙක්වත් අපිට උදව් කරන්න ඉදිරිපත් වුනේ නැහැ. අපේ ආත්මාරක්ෂාව සඳහා අපි අපේ බඳ පටි ඇදලා ගත්තා. අනෙක් මගීන් අපිට උදව් කළා නම් අපිට මේ විදිහට ප්‍රතිචාර දක්වන්න වෙන එකක් නැහැ’ යනුවෙන් ඇය වැඩි දුරටත් පැවසුවාය.