වන්ධ්‍යාකරණ සැත්කම් වල දී බයිසිකල් පොම්ප යොදාගෙන

Image copyright Reuters
Image caption වර්තමානයේ ඉන්දියාව තුළ සමුහ වශයෙන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම බොහෝ සෙයින් සිදුවෙයි

නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ වෛද්‍යවරයකු විසින් කාන්තාවන් සඳහා වූ වන්ධ්‍යාකරණ සායනයක දී ප්‍රතිකාරයට භාජනය වන කාන්තාවන්ගේ උදරය පිම්බීම සඳහා බයිසිකල් පොම්පයක් භාවිතා කිරීම හේතුවෙන් ඔරිස්සා ප්‍රාන්ත රජය විසින් එම සායනය තහනම් කරනු ලැබ තිබේ.

මෙම සිදුවීම ඉන්දියාවේ වන්ධ්‍යාකරණ ප්‍රතිකාර වලදී සිදුවන අක්‍රමිකතා පිලිබඳ නවතම හෙළිදරව්වයි.

පසුගිය සිකුරාදා අවුරුදු පනස් හයක් වයසැති කාන්තාවකට සිදුකළ සැත්කමක දී ය වෛද්‍ය වරයා විසින් එසේ බයිසිකල් හුලං පොම්යක් භාවිතාකරනු ලබා ඇත්තේ.

“කී හෝල් සර්ජරි” නමින් හැඳින්වෙන මෙම සැත්කමේදී කාන්තාවගේ උදරය තුළ ඉඩ ලබාගනු පිණිසයි මෙසේ පිම්බීම අවශ්‍යවන නමුත් ඔරිස්සා රජය පවසන්නේ මේ සඳහා කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිකර්මය වැනි අනුමත ප්‍රතිකාර ක්‍රම යොදාගැනීම වෙනුවට මෙලෙස අවකාශගත වායුව පොම්පකිරීම බොහෝ අනතුරුදායක සෞඛ්‍ය තත්වයන්ට හේතු විය හැකි බවයි.

පසුගිය මස යාබද චතිස්ගාර් ප්‍රාන්තයේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගනු ලැබුවේ මෙවැනි වන්ධ්‍යාකරණ සයනයක දී කාන්තාවන් පහළොස් දෙනෙකු මියා යාම හේතුවෙන්.

පසුව හෙළිදරව් වුයේ එම සායනයේ දී භාවිතයට නුසුදුසු බෙහෙත් පෙති ලබා දීම හේතුවෙන් එම මරණ සිදු වූ බවයි.

වර්තමානයේ ඉන්දියාව තුළ සමුහ වශයෙන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම බොහෝ සෙයින් සිදුවන නමුත් ඒවා සිදුකරන ක්‍රමවේදය ඉතා දුර්වල මට්ටමක පවතින බවයි පැවසෙන්නේ.

2009 වසරේ සිට 2012 වසර දක්වා පමණක් කාන්තාවන් 700 දෙනෙකු වන්ධ්‍යාකරණ සැත්කම් හේතුවෙන් මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර