බුරුමයේ බහු විවාහයට තහංචි

Image copyright AFP
Image caption 2005 වසරේදී, යන්ගුන් නගරයේ පැවැත්වූ විලාසිතා දැක්මකට එක්වූ නිරුපිකාවන් මංගල ඇඳුමින් සැරසී

බහු විවාහ තහනම් කිරීම සඳහා බුරුම රජය නව නීති කෙටුම්පතක් ඉදිරිපත් කරන බව නිවේදනය කොට තිබේ.

බුරුමයේ මුස්ලිම් ප්‍රජාව අතර මෙන්ම බෞද්ධයන් අතරද බහු විවාහ සම්ප්‍රදායක් පවතී.

එය බුරුමයේ දිගු කලක සිට පැවත එන සම්ප්‍රදායක් නමුත් ධනවතුන්ට පමණක් සීමා වූවක් බවයි බීබීසී බුරුම සේවයේ බාමෝ පැවසුවේ.

නව නීතියට අනුව බුරුමයේ පුරුෂයකුට හෝ ස්ත්‍රියකට හිමි කර ගත හැක්කේ එක් භාර්යාවක් හෝ ස්වාමි පුරුෂයකු පමණි.

මුස්ලිම් ප්‍රජාව

“සමහර විචාරකයන් පවසන්නේ මේ මගින් විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවට සීමාවන් පැනවීමක් සිදු කෙරෙන බව. මුස්ලිම් අයට ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායේ හැටියට, ඒවගේම පරම්පරාවෙන් භාර්යාවන් හතර දෙනකු තියා ගන්න පුළුවන්,” බීබීසී බුරුම සේවයේ බාමෝ පැවසුවේය.

බුරුම සමාජයේ බෞද්ධයන් අතරද පරම්පරාවෙන් බහු විවාහ සිදුවූ අතර මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතියක් දකින්නට නොතිබුණු බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

බහු විවාහ සහ ආගම් අතර සම්බන්ධයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ධනවත් පුද්ගලයන්ට භාර්යාවන් කිහිප දෙනකු තබා ගත හැකි නමුත් අලුත් නීතියෙන් ඒ සියල්ල අහෝසි වන බව ඔහු පැවසුවේය.

“බෞද්ධ සම්ප්‍රදායික නීතියට අනුවත් භාර්යාවන් දෙදෙනෙක් තියා ගන්න පුළුවන් කම තිබුනා. භාර්යාවන් දෙදෙනාටම සම අයිතිවාසිකම්ද තිබුනා. ස්වාමි පුරුෂයා මිය ගියාම ඔහුට අයත් ඉඩ කඩම් , මුදල්, ව්‍යාපාර ආදිය සමව බෙදිලා යනවා,” බීබීසී බුරුම සේවයේ බාමෝ සඳහන් කළේය.

භාර්යාවන් දෙදෙනකු සිටින තැනැත්තෙකු දකින්නට ලැබෙන්නේ කලාතුරකින් බවයි ඔහු පවසන්නේ.

සම අයීතීන්

“හුඟක්ම පොහොසත් නම් තමයි එහෙම භාර්යාවන් දෙදෙනෙක් ඉන්නේ. විශේෂයෙන්ම එක භාර්යාවක් උත්සව ආදියට සහභාගි වෙනවා. අනිත් භාර්යාව සෙසු වැඩවල යෙදෙනවා. නමුත් මේ දෙන්නටම සම අයීතීන් හිමි වෙනවා"

නව නීතිය මත භේදයට ලක් වීමට ඉඩ නැති බවට විශ්වාසය පල කළ බීබීසී බුරුම සේවයේ බාමෝ, නිල වශයෙන් නොවුවත් මුදල් ඇති පොහොසත් පුද්ගලයන්, ඉහල නිල තල දරන අය, සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට තවත් භාර්යාවක් තවදුරටත් තබා ගැනීමට අවස්ථාව ඇති බවයි පෙන්වා දෙන්නේ

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර