උ කොරියාව සයිබර් ප්‍රහාර චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Image copyright AFP

ඇමෙරිකාවේ සෝනි පික්චර්ස් චිත්‍රපට නිෂ්පාදන සමාගමට පසුගිය මස එල්ල කෙරුණ සයිබර් ප්‍රහාරයට තම රටේ සම්බන්ධයක් ඇති බවට කරන චෝදනා උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කරයි.

එය දූෂමාන ආරංචියක් බවයි උතුරු කොරියාව පවසන්නේ.

මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ඝාතනය කරන අන්දමක් ගැන කතා කෙරෙන ප්‍රබන්ධාත්මක විහිළු චිත්‍රපටියක් නිකුත් කිරීමට පෙරයි.

පියෝන්ග් යැන්ග් පාලනය මෙම චිත්‍රපටිය හැඳින්වුයේ යුද්ධමය කටයුත්තක් හැටියටයි.

උතුරු කොරියානු ජාතික ආරක්ෂක කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සෝනි පික්චර්ස් ආයතනයේ පරිඝණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත විනාශ කරමින් සිදුකළ සයිබර් ප්‍රහාරය සමහර විට උතුරු කොරියාවට හිතවත් කොටස් සිදුකළ ක්‍රියාමාර්ගයක් විය හැකි බවයි.

උතුරු කොරියාවට හිතවත්, ඊට සහයෝගය ලබා දෙන දහස් සංඛ්‍යාත පිරිසක් වගේම සාමය ආරක්ෂා කිරීමට කැප වූ පිරිසක් ලොව පුරා සිටින බවද කොමිසම තම පුවත්පත් නිවේදනය මගින් කියා සිටියි.

සයිබර් ප්‍රහාරය එල්ල වූ කාලසීමාවේ දී මෙතෙක් තිරගත නොකළ චිත්‍රපටි ගණනාවක් නීතිවිරෝධී දත්ත හුවමාරු ඔස්සේ මුදා හැරීමත්, පුද්ගලයන් දහස් ගණනකගේ පුද්ගලික තොරතුරු ඇතුළු සංවේදී දත්ත හෙළි කිරීමත් සිදුවිය.