ජිහාඩ් ප්‍රහාරවලින් නොවැම්බරයේදී පන්දහසක් මරුට

Image copyright BBC World Service

ජිහාඩ් කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුගිය නොවැම්බරයේදී පමණක් පන්දහසකට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව බීබීසීය කළ විමර්ශනයකින් හෙළි වෙයි.

මරා දමා ඇති මුළු පිරිසෙන් සියයට හතළිස් හතරකගේම මරණවලට සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් වගකිය යුතු බව එම විමර්ශන වාර්තාවේ සඳහන් වෙයි.

ජිහාඩ් සංවිධාන පිළිබඳව ඉහත කී විමර්ශනය බීබීසීය සිදු කර ඇත්තේ ලන්ඩන් නුවර කිංග්ස් විද්‍යාලයේ ද (Kings College) සහාය ඇතිවයි.

සෑම පැයකදීම හත් දෙනෙක්

නොවැම්බර් මාසය තුළ පමණක් රටවල් දාහතරකින් ජිහාඩ් ප්‍රහාරයන් 664 ක් බීබීසීයට වාර්තා විය.

සාමාන්‍ය අගය ගණනය කළහොත් පසුගිය මාසය තුළ සිදු වූ ප්‍රහාර නිසා සෑම දිනකදීම 168 දෙනෙකු මිය ගොස් තිබේ. එනම් සෑම පැයකදී ම හත් දෙනෙකු මරා දමා ඇත.

ඉන් සියයට අසූවක් ම වාර්තා වූයේ ඉරාකය, සිරියාව, නයිජීරියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් වලිනි.

සාමාන්‍ය වැසියන්

ජිහාඩ් ප්‍රහාර නිසා මිය ගොස් ඇති බහුතරය සාමාන්‍ය වැසියන් වන අතර සන්නද්ධ භටයන්ද විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබේ.

මෙම වාර්තාව තව දුරටත් සඳහන් කරන්නේ ජිහාඩ් ව්‍යාපාරයන් සංකීර්ණ සහ පුළුල් වෙමින් පවතින අතර ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන බවයි.

මෙම විමර්ශනයට අල් ඛයීඩා ඇතුළු සුන්නි සටන් කණ්ඩායම් ද යොදා ගෙන තිබේ.