ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අවසන් දලයි ලාමා ?

දලයි ලාමා පදවියේ පැවැත්ම ටිබට් ජනතාව මත රඳා පවතින බව දලයි ලාමා පවසයි.

රටින් පලා ගොස් ඉන්දියාවේ ජීවත් වීමට සිදුව ඇති දලයි ලාමා එම ප්‍රකාශය කළේ බීබීසිය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී.

පදවිය දරන අන්තිම දලයි ලාමා තමා වීමට ඉඩකඩ ඇති බවත් උන්වහන්සේ පවසති.

ජනප්‍රිය දලයි ලාමාවරයකු පදවිය හොබවද්දී ශතවර්ෂාධික ඉතිහාසයක් සහිත එම පදවියේ විරාමයක් දැකීම වඩාත් යහපත් වන බව උන්වහන්සේගේ අදහසයි.

ටිබටයේ නිදහස වෙනුවෙන් මතවාදී ව්‍යාපාරයක් ගෙන යමින් සිටි දලයි ලාමා ස්වතන්ත්‍ර පාලනයක තත්වයට මේ වන විට එකඟව සිටිති.

හැත්තෑ නව වන වියේ පසු වෙන උන්වහන්සේ මාතෘකා කීපයක් ආවරණය කෙරුණ බීබීසී සාකච්ඡාවේ දී කියා සිටියේ, තම අභාවයෙන් අනතුරුව පදවිය සඳහා තවත් අනුප්‍රාප්තිකයකු නොවන බව සිය පිළිගැනීම බවයි .

චීන දලයි ලාමා

‘දලයි ලාමා පදවිය දවසක අහෝසි වේවි. මිනිසුන් විසින් පිහිටුවා ගන්නා ලද මේ පදවිය යම් දවසක අහෝසි වේවි’ උන්වහන්සේ පවසති.

එහෙත් චීන ආණ්ඩුව කියා සිටින්නේ ටිබටය සඳහා අනුප්‍රාප්තික දලයි ලාමාවරයකු තෝරා පත් කර ගන්නා බවයි.

1959 වසරේ චීන හමුදා ටිබට් දේශය ආක්‍රමණය කිරීමත් සමඟයි දලයි ලාමා ඉන්දියාවට පළා ගියේ.

එවක් පටන් උන්වහන්සේ උතුරු ඉන්දියාවේ ධර්ම ශාලා නගරයේ ආශ්‍රමයකයි වැඩ වාසය කරන්නේ.

දලයි ලාමා පදවියට තවදුරටත් දේශපාලන වගකීමක් ඇතුළත් නොවන බව කියා සිටින උන්වහන්සේ එම වගකීම් ගිහි නායකයකුට පැවරීමට දැනටමත් පියවර ගෙන ඇත.

බීබීසිය වෙනුවෙන් සාකච්ඡාව සිදුකළ මාධ්‍යවේදිනිය දලයි ලාමා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නයක් වුනේ පාප් වහන්සේ හමුවීමට උන්වහන්සේ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුනේ කුමක් නිසා විය හැකිද යන්නයි. ‘ඊට හේතුව චීනය’යන්නයි, දලයි ලාමා ගේ පිළිතුර වුණේ.