පැරිස් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් දොළහක් මරුට

Image copyright AFP
Image caption මියගිය පිරිස අතරට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද අයත් වන බවයි පැවසෙන්නේ

මුහුණ ආවරණය කරගත් තුවක්කු කරුවන් විසින් මතභේදයට ලක්වී ඇති ‘චාර්ලි හෙබ්දෝ’ නම් ප්‍රංශ උපහාසාත්මක සඟරාවකට අයත් කාර්යාලයක් තුළ දී දොළොස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.

මියගිය පිරිස අතරට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද අයත් වන අතර තවත් පස් දෙනෙකු දරුණු ලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කළු පැහැති මුහුණු ආවරණ වලින් සැරසුණු තුවක්කු කරුවන් රයිෆල් තුවක්කු රැගෙන සිටින අයුරු ප්‍රහාරය සිදු වූ මොහොතේ පටිගත වූ වීඩියෝවක දැක්වේ.

ප්‍රහාරයෙන් පසු තුවක්කු කරුවන් “ අපි අපේ ශාස්තෘවරයා වෙනුවෙන් පලිය ගත්තා” යනුවෙන් කෑගැසූ බවයි පොලීසිය පවසන්නේ.

මීට පෙර ද ප්‍රංශයේ ප්‍රකාශනයට පත් වන මේ සඟරාව ඉස්ලාම් වාදීන්ගේ ඉලක්කය වී තිබේ.

උදය කාලයේ දී ගොඩනැගිල්ලට ඇතුළු වූ තුවක්කු කරුවන් වෙඩි පහර පනහක් පමණ එල්ල කිරීමෙන් පසු මෝටර් රථයක නැගී පලා ගිය බවයි පැවසෙන්නේ.

ප්‍රහාරකයන් සෙවීම සඳහා ඇති විශාල මෙහෙයුමක් ප්‍රංශ අගනගරය තුළ සිදු කෙරෙන අතර ආගමික ස්ථාන සහ මාධ්‍ය ආයතන වලට විශේෂ ආරක්ෂාව ලබා දී තිබේ.

මේ සිදුවීම පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කළ ප්‍රංශ ජනාධිපති ප්‍රන්ෂුවා ඔලොන්දේ පැවසුවේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බවයි.

"පැරිස් නගරයේ පුවත්පත් කාර්යාලයකට එල්ල කෙරුණු මේ ප්‍රහාරය ම්ලේච්ඡ ක්‍රියාවක්. පුවත්පතක් කියන්නෙ නිදහස් අදහස් ප්‍රකාශන අයිතිය. ප්‍රංශයේ මාධ්‍යවේදීන් නිතරම පෙන්නුම් කරනව ප්‍රංශය තුළ ඔවුන්ගේ අදහස් නිදහසේ සුරක්ෂිතව ප්‍රකාශයට පත් කළ හැකි බව" යනුවෙන් ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර