ආගම වෙනුවෙන් වැඩිපුර දරුවන්

Image copyright Press Trust of India

තම ආගම රැක ගැනීම වෙනුවෙන් ‘අවම වශයෙන් දරුවන් හතර දෙනෙකුවත් බිහි කරන මෙන් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයෙක් හින්දු කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සක්ෂි මහාරාජ් නම් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කරන ලද එම ඉල්ලීමට අන්තර්ජාල සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාරයක් ලැබී තිබෙන අතර වැඩි දෙනා විසින් ඔහු පුරුසෝත්තමවාදියකු සහ වෙනත් ආගමික මතවාද නොඉවසන්නෙකු ලෙස දැඩි දෝෂ දර්ශනයට ලක් කරන බවයි වාර්තා වන්නේ.

බීබීසී වාර්තාකාරිනී ජිල් මැක්ගිවරින් (Gill MacGivering) ඒ පිළිබඳව තොරතුරු ගෙනෙමින් කියා සිටියේ ඇතැමුන් ‘මහාරාජ්ගේ ගේ අදහස් අනුමත කරන නමුත් වැඩිදෙනා ඔහු උපහාසයට ලක් කරන බවයි’.

‘මහාරාජ්ගේ අදහස් අනුමත නොකරන පුද්ගලයන් අහන්නෙ මේ විදියට විශාල පවුල් ඇති කරන්න කියල දේශපාලනඥයෝ උපදෙස් දෙනව නම් ඉන්දියාවේ ජනගහණ ප්‍රතිපත්ති වලට මොකද වෙන්නෙ කියලයි. මහත්මා ගාන්ධි ඝාතනය කරපු පුද්ගලයා ජාතික වීරයෙක් විදියට හඳුන්වල මේ පුද්ගලයා මෑතදී චෝදනාවට ලක් වුණා’.

සක්ෂි මහාරාජ් මන්ත්‍රීවරයා විසින් කරන ලද ඉහත කී ප්‍රකාශය දක්ෂිණාංශික හින්දු දේශපාලනඥයන් සහ හිතවාදී කණ්ඩායම් විසින් සිදු කරනු ලැබ එවැනි ප්‍රකාශ මාලාවක නවතම ප්‍රකාශය වන අතර එය වර්තමාන ඉන්දීය රජය මුස්ලිම් සහ රටේ අනෙකුත් සුළු ජාතිකයන් යට කර දැමීමට ගෙන යන වැඩ පිළිවෙලක් කොටසක් හැටියටයි චෝදනාවට ලක් වන්නේ.