මොහමද් අමීර්ට එරෙහි තරඟ තහනම ඉවතට

Image copyright AP
Image caption තරග තහනමට පෙර මොහොමඩ් අමීර් විසින් ටෙස්ට් තරඟ 14 කදී කඩුලු 51ක් ලබා ගැනීමට සමත් වූ අතර එක් දින තරඟ 15 කදී කඩුලු 25ක් ලබා ගැනීමට සමත් විය.

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක මොහමද් අමීර්ට පනවා තිබූ තරඟ තහනම කාලය සැපිරීමට පෙර ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඔහු මෙම තහනමට ලක් වූයේ 2010 වසරේ එංගලන්තයේ පැවති ක්‍රිකට් තරගාවලියේ දී බුකී කරුවන් සමග එක්වී තරඟ පාවා දීමේ චෝදනා හේතුවෙනි.

එම චෝදනා වලට වරදකරු වූ විසි දෙහැවිරදි මොහමද් අමීර් මාස හයක සිර දඬුවමකට සහ වසර පහක තරඟ තහනමකට ලක් විය.

ඔහුගේ තරඟ තහනම 2015 සැප්තැම්බර් මස දෙවනදා අවසන් වීමට නියමිතව තිබුනත් මේ වන විට පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සිය රට තුල පමණක් ක්‍රීඩා කිරීමට ඔහුට අවසර ලබා දී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, පකිස්තාන් ක්‍රිකට් මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා සහ දූෂණ මැඩලීමේ කමිටු සභාපති රොනී ෆ්ලනගන් මැදිහත් ව එම අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, චෝදනා පිළිගැනීම, වංචා සහ දුෂණ මැඩලීමේ කමිටුවට චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පුර්ණ සහයෝගය ලබා දීම සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරඟ පාවා දීමෙන් සිදු විය හැකි හානි සහ ආදීනව දැක්වෙන පණිවුඩයක් නිකුත් කිරීමට ඉදිරිපත් වීම යන කාරනා සලකා බලා මොහමද් අමීර්ගේ තරඟ තහනම ඉවත් කිරීමට තීරණය කළ බවයි.

තරග තහනමට පෙර මොහමද් අමීර් විසින් ටෙස්ට් තරඟ 14 කදී කඩුලු 51ක් ලබා ගැනීමට සමත් වූ අතර එක් දින තරඟ 15 කදී කඩුලු 25ක් ලබා ගැනීමට සමත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර