වරදෙහි බැඳීමට පෙළඹවීම තහනම්

Image copyright

අනියම් සම්බන්ධතා වලට උපකාර කෙරෙන අන්තර්ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යාම තුලින් විවාහය තුල වංචා සිදු කිරීමට පොළඹවන බවට චෝදනා කරමින් ප්‍රංශ 'ග්ලීඩ්න්' වෙබ් අඩවිය අධිකරණය හමුවට කැඳවා තිබේ.

එම අන්තර්ජාල වෙබ් අඩවිය පවත්වා ගෙන යාම තුලින් විවාහය තුල වංචා කිරීමට පෙළඹවීම සිදු වන බවටයි චෝදනා කෙරෙන්නේ.

මීට වසර පහකට පෙර ප්‍රංශයේ ආරම්භ කරන ලද 'ග්ලීඩ්න්'(Gleeden) වෙබ් අඩවිය මේ වන විට ලොව පුරා ශාඛා විවෘත කර ඇත.

ප්‍රංශ පාරම්පරික මතධාරී කණ්ඩායම් තර්ක කරන්නේ එම ව්‍යාපාරය විශේෂයෙන්ම විවාහකයන් ඉලක්ක කර ගෙන පවත්වා ගෙන යාම තුලින් ප්‍රංශ සිවිල් නීතිය උල්ලංඝනය කරන බවයි.

'ග්ලීඩ්න්'(Gleeden)වෙබ් අඩවිය සිත් බැඳ ගනු ලබන ආකාරයේ වෙළඳ දැන්වීම් පළ කිරීම තුලින් විවාහකයන්ට සිය විවාහය තුල වංචා කිරීමට පොලඹවන බවයි කතෝලික පල්ලිය හා සම්බන්ධ පාරම්පරික මතධාරී කණ්ඩායම් පවසන්නේ.

විවාහය තුල යුවළක් එකිනෙකාට ගරු කිරීමටත් අවංක භාවය රැකීමටත් වගකීමෙන් බැඳී සිටින බව ප්‍රංශ සිවිල් නීති සංග්‍රහයේ ඉතා පැහැදිලිව සඳහන් වෙයි.

නමුත් 'ග්ලීඩ්න්'(Gleeden) වෙබ් අඩවිය වෙනුවෙන් අදහස් දක්වන සොලන් පයිලේට් කියා සිටින්නේ ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකි බැවින් එය ඔවුන්ට තීරණය කිරීමට ඉඩ දිය යුතු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර