ටියුනීසියාවේ ප්‍රහාරයකින් දහනව දෙනෙකු මරුට

Image copyright AFP

තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් ‘බර්දෝ’ කෞතුකාගාරය නැරඹීමට පැමිණ සිටි සංචාරකයින්ට එල්ල කරන ලද ප්‍රහාරයකින් දහනව දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ටියුනීසියාව නිවේදනය කරයි.

මරණයට පත් වූවන් අතර ටියුනීසියානු ජාතිකයන් දෙදෙනකු සහ පොලිස් නිලධාරියකු ද වූ බවයි වාර්තා වන්නේ.

සංචාරකයන් කෞතුකාගාරය ඉදිරිපිට දී බස්රථ වලින් ඉවත ට එමින් සිටියදීයි, තුවක්කුකරුවන් දෙදෙනා වෙඩි තැබීම ආරම්භ කරනු ලැබ තිබෙන්නේ.

Image copyright AFP
Image caption බර්දෝ කෞතුකාගාරය

ටියුනීසියානු අගමැති හබිබ් එසිඩ් පවසන්නේ ප්‍රහාරය එල්ල කරන ලද තුවක්කු කරුවන් දෙදෙනාගෙන් එක් ප්‍රහාරකයෙකු සම්බන්ධයෙන් බුද්ධි අංශ දැනුවත්ව සිටි බවයි.

ආරක්ෂක භටයන් විසින් තුවක්කු කරුවන් දෙදෙනා මරා දමා ඇති බවත් නිවේදනය කෙරිණ.

ප්‍රංශ ගුවන්විදුලියට ප්‍රකාශයක් කළ අගමැතිවරයා, සිය රජය අනෙකුත් රටවල් සමග සහයෝගයෙන් එම ප්‍රහාරකයන් දෙදෙනා පිළිබඳ වැඩි දුර සොයා බලන බවත් කියා සිටියේය.

ටියුනීසියාවේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ, මරා දැමුණ තුවක්කු කරුවන් දෙදෙනාට අමතරව එම ප්‍රහාරය පිටුපස තවත් ආධාර කරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සිටිය හැකි බවයි.