‘ජර්මන්වින්ග්ස්’ සහායක නියමුවා මානසික ආතතියෙන් පෙළුනෙක්

Image copyright Andreas Lubitz
Image caption අන්ද්‍රේයාස් ලුබිට්zස්

ජීවිත එකසිය පනහක් විනාශ කරමින් ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වැටියේ දී ‘ජර්මන්වින්ග්ස්’ ගුවන් යානය සිතාමතාම අනතුරට ලක් කළ සහායක ගුවන් නියමු අන්ද්‍රේයාස් ලුබිට්zස් (Andreas Lubitz,) මානසික සෞඛ්‍යය ප්‍රශ්න වලින් පෙළුන බවට සාක්ෂි ඇතැයි ජර්මනියේ ජනමාධ්‍ය වාර්තා කරයි.

විසිහත් හැවිරිදි අන්ද්‍රේයාස් ලුබිට්zස් ගුවන් නියමුවා පෙළුණ මානසික ව්‍යාධීන් පිලිබඳ විස්තර සහ ඔහු අඛණ්ඩ මානසික තත්ත්ව පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීම පිළිබඳව ජර්මන් ෆෙඩරල් ගුවන් ගමන් බල අධිකාරියේ සටහනක් ලැබී ඇති බවයි,ඒ.ආර්.ඩී.(ARD)ජර්මන් ගුවන් විදුලිය පවසන්නේ.

මානසික ආතතිය නිසා ඔහු සිය ගුවන් නියමු පුහුණු පාඨමාලාව අතරවාරයේ මාස හයක විරාමයක් ලබා ගෙන ඇති බවක් මේ අතර තහවුරු නොකෙරුණ තවත් වාර්තාවක් මගින් පැවසෙයි.

අන්ද්‍රේයාස් ලුබිට්zස් සිය දෙමව්පියන් සමඟ ජීවත් වූ අතර එම නිවසේ තිබුණ පරිඝනකයක් ඇතුළු තවත් දේවල් පොලිස් භාරයට ගනු ලැබ ඇත.

Image copyright Andreas Lubitz
Image caption සහායක ගුවන් නියමු අන්ද්‍රේයාස් ලුබිට්zස් ශාරීරික ව්‍යායාමයේ යෙදෙමින් සිටි අවස්ථාවක්

බීබීසී මාධ්‍යවේදිනී ජැකී ලෙනාඩ් පින්ලන්තයේ හෙල්සින්කි ගුවන් තොටුපොළේ වෘත්තීය සෞඛ්‍යය අංශයේ විශේෂඥයකු වන අල්පෝ වූරියෝගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ සියලුම ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල වාර්ෂික පිරික්සීමකට ලක් කරන බවයි.

‘හැම අවුරුද්දකම ගුවන් නියමුවන් පරීක්ෂණයකට ලක් කරනවා. ඒ පරීක්ෂණයේ දී අපි ඔවුන්ගේ සෞඛ්‍යය කාරනා ගැනත් විමසීමක් කරනවා. ඔවුන් පාවිච්චි කරන බෙහෙත් වර්ග වගේම වෛද්‍යවරුන් මුණ ගැසීම් ආදිය ගැනත් අපි ඔවුන්ගෙන් විමසනවා. ඒ වගේම ඔවුන් සහභාගී වුන ශාරීරික පරීක්ෂණ ගැනත් සොයා බලනවා’ අල්පෝ වූරියෝ පවසයි.

අද ගුවන් නියමු වෘත්තීය ඉතාම පීඩාකාරී රැකියාවක් වන බව පෙන්වා දෙන පින්ලන්ත ගුවන් තොටු පොලේ සෞඛ්‍යය විශේෂඥයා ඊට හේතු පැහැදිලි කරයි.

‘ගුවන් නියමු වෘත්තීය කියන්නේ අද ඉතා පීඩාකාරී වෙහෙසකාරී රැකියාවක්. අපි දන්නා හැටියට ගුවන් ගමන් කර්මාන්තය තරඟකාරී එකක් වීමත් එක්ක ඒ රැකියාව තව තවත් පීඩාකාරී එකක් බවට හැරුණා. බොහෝ ගුවන් යානා ගමන් ආරම්භ කරන්නේ ඉතා පාන්දරින්. ඔවුන්ට මහාද්වීපයෙන් මහාද්වීපයට පියාසර කරන්න වෙලා තියෙනව.ලෝකයේ මහාද්වීපයෙන් මහාද්වීපයට කාලය වෙනස්. ගොඩක් ප්‍රශ්න මතු වෙනවා’ අල්පෝ වූරියෝ ගුවන් නියමු රැකියාවේ අභියෝග විස්තර කරයි.

ඇල්ප්ස් අනතුරින් අනතුරුව ගුවන් සමාගම් ආරක්ෂාව සම්බන්ධයෙන් නව විධි විධාන ක්‍රියවාට නැංවීමට පියවර ගෙන ඇති අතර සියලුම ගුවන් යානාවන්හි නියමු කුටියේ හැම පියසර මොහොතකම දෙදෙනකු රැඳී සිටිය යුතු යයි නිර්දේශ කරනු ලැබ ඇත.