ඉන්දියාව: නිරුවත් මළසිරුරු බහාලූ පෙට්ටි දෙකක්

Image copyright MANOJ DHAKA

පෙට්ටි දෙකක් තුළ බහාලන ලද පුරුෂයකුගේ සහ කාන්තාවකගේ නිරුවත් මළසිරුරු හර්යානා ප්‍රාන්තයෙන් සොයා ගෙන ඇති අතර “පවුලේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම පිණිස” ඔවුන් මරා දමා ඇතැයි සැක කරන බව ඉන්දීය පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් විසින් මරණයට පත් දෙදෙනාගේ මළසිරුරු සොයා ගනු ලැබුවේ හර්යානා ප්‍රාන්තයේ මහජන උද්‍යානයක තිබීයදීයි.

ඝාතනයට පත් දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැති අතර ඔවුන් විසි වන වියේ පසු වන්නන් බවට විශ්වාස කෙරේ.

ආදර සබඳතා මත හෝ සිය පවුලේ අනුමැතිය නොමැතිව විවාහ වීම හේතුවෙන් සෑම වසරකදීම සිය ගණනක් දෙනා ඉන්දියාව තුළ ඝාතනයට ලක් වෙති.

පිරිමි මළසිරුරේ දෙපා කපා වෙන් කොට පෙට්ටිය තුළට බහා ඇති බව පොලිසිය පැවසුවේය.

මරණයට පත් කාන්තාවගේ දෑතේ අලුත විවාහ වූ මනාලියන් පලඳින මංගල වළලු තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

‘ගෙල සිර කර මරා දමා ඔවුන්ගේ සිරුරු උද්‍යානයට ගෙනත් දමා ඇති බවයි පෙනෙන්න තිබෙන්නේ. මේ වනතුරු ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගෙන නැහැ’ යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසූ බව ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේය.