රත්හඳුන් ජාවාරම් සැක කරුවන්ට වෙඩි තිබ්බේ ඉවක් බවක් නැතුවද?

Image caption 'අපි ඉලක්කයක් බලල වෙඩි තිබ්බෙ නැහැ. ගල් ආපු පැත්තට වෙඩි තිබ්බා'

දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ රත්හඳුන් ජාවාරම් කරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු වෙඩි පහරින් මියගිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටිති.

තමිල්නාඩු -ආන්ද්‍ර ප්‍රදේශ් මායිමේ තිරුපති ප්‍රදේශය අසල කැලයක දී රත් හඳුන් ජාවාරම් මර්දනය සඳහා වූ විශේෂ කාර්ය බලකාය අඟහරුවාදා දියත් කල මෙහෙයුමේ දී මෙම වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා විය.

එම මෙහෙයුමේ දී තමිල්නාඩුවේ තිරුවන්නාමලෙයි, වේලුර් සහ විලුප්පුරම් දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත.

'අත්මාරක්ෂාවට'

ගල්, මුල්, පොරව සහ පිහි වලින් තමන්ට පහර දුන් පුද්ගලයින්ට ප්‍රතිචාර වශයෙන් තමන් වෙඩි තැබූ බවයි විශේෂ කාර්ය බලකායේ සාමාජිකයෙක් වන අශෝක් කුමාර් බිබිසි දෙමළ සේවයට පැවසුවේ.

‘අපේ අයව බේරන්න අපි දුවල ගියා. අපටත් ගල්වලින් ගැහුවා. අපේ ආත්මාරක්ෂාව සඳහා අපිට වෙඩි තියන්න සිද්ධ වුනා. අපි ඉලක්කයක් බලල වෙඩි තිබ්බෙ නැහැ. ගල් ආපු පැත්තට වෙඩි තිබ්බා’ යනුවෙන් අශෝක් කුමාර් පැවසිය.

සීකිඩිගොන්ඩා ප්‍රදේශයේ 11 දෙනකුත් එඩගොන්ඩා ප්‍රදේශයේ 9 දෙනෙකුත් මෙම මෙහෙයුමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකායේ 11 දෙනෙකු තුවාල ලැබූ බවයි පොලිසිය පවසන්නේ.

'අත් අඩංගුවේ දී මරා දමලා'

Image caption 'පොලිසියට ගැහුව නිසා වෙඩි තිබ්බා කියන කතාව ඔක්කොම බොරු'

කෙසේ නමුත්, සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් වෙඩි තබා මරා දමා ඇති බවයි මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ.

‘පපුවට වෙඩි තියල මරල තියන්නේ... සැලසුම් කරලා මේ ඝාතනය කරල තියෙන්නේ. පොලිසියට ගැහුව නිසා වෙඩි තිබ්බා කියන කතාව ඔක්කොම බොරු’ යනුවෙන් මියගිය පුද්ගලයකුගේ සහෝදරයෙක් ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය හේතුවෙන් ආන්ද්‍ර ප්‍රදේශ් ආණ්ඩුවට තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවල විරෝධතාවය එල්ල වී තිබේ.

ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමති චන්ද්‍රබාබු නායුඩු වෙත ලිපියක් යැවූ තමිල්නාඩුවේ මහ ඇමති පන්නීර්සෙල්වම්, මේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.

'අවවාද කර නැහැ'

මේ අතර ඉන්දියාවේ ජාතික මානව හිමිකම් කොමිසමේ සාමාජික විනිසුරු ඩී මුරුගේසන් විසින් විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකලාපය දෝෂාරෝපණයට ලක්කරනු ලැබ තිබේ.

‘මෙතන වෙලා තියන ජීවිත හානිය බලන කොට, ඔවුන්ට වෙඩි තියලා තියෙන්නේ ඉවක් බවක් නැතුව. ආත්මාරක්ෂාවට වෙඩි තිබ්බ බවක් පෙනෙන්න නැහැ. අහසට වෙඩි තියල අවවාද කරපු බවක් වාර්තා වෙන්නේ නැහැ’ යනුවෙන් විනිසුරු ඩී මුරුගේසන් බීබීසී යට පැවසීය.

රත්හඳුන් ජාවාරම් චෝදනාව මත 2000ට අධික තමිල්නාඩු වැසියන් ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ හිර ගෙදරවල දිගු කාලයක් තිස්සේ සිරවී සිටින බව මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් පෙන්වා දී තිබේ.