හිලරි ක්ලින්ටන් යළි ජනපති සටනට

Image copyright Getty

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමා බලයට පත් වුනොත් ඇමෙරිකානු පුරවැසියන් වෙනුවෙන් දෛනිකව කැපවෙන බවට හිලරි ක්ලින්ටන් ප්‍රතිඥාවක් දුන්නාය.

මීළඟ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හොත් ඇය ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ එම පදවියට පත් පළමු කාන්තාව හැටියට ඉතිහාසගත වන්නීය.

බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ පරිදි හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය දිනා ගැනීම සඳහා තමා ඉදිරිපත් වෙන බව දැනටමත් නිවේදනය කරනු ලැබ ඇත.

මෙය ඇය සිය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය දිනා ගැනීමට උත්සාහ කරන දෙවැනි වතාවයි.

Image copyright hillaryclinton.com

හිලරි ක්ලින්ටන් 2008 ජනාධිපතිවරණයේදීත් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය ලබා ගැනීමේ උත්සාහයක නිරත වූ නමුත් බරක් ඔබාමාට පරාජයට පත් වූවාය.

අනතුරුව ජනාධිපති බරක් ඔබාමා පාලනය යටතේ කලක් රාජ්‍ය ලේකම් පදවිය දැරූ සෙනේට් සභික හිලරි ක්ලින්ටන් මී ළඟ ජනාධිපතිවරණය සඳහා දැනටමත් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කරනු ලැබයි තිබෙන්නේ.

මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන ජෙබ් බුෂ් මේ අතර වීඩියෝ පටයක් නිකුත් කරමින් කියා සිටියේ ‘අසාර්ථක ඔබාමා-ක්ලින්ටන් පිළිවෙතට වඩා යහපත් මගක් ගත යුතුව’ ඇති බවයි.