ඇෆ්ගන් හි මරාගෙන මැරෙන බෝම්බයකින් 33 ක් මරුට

Image copyright AP
Image caption ප්‍රහාරකයා පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බවයි වාර්තාවල සඳහන් වන්නේ

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 100 ක පමණ පිරිසකට තුවාල සිදු වී තිබේ.

වාර්තාවන් පවසන්නේ රජයේ සේවකයන් වැටුප් ලබා ගැනීමට පැමිණෙන බැංකුවකට පිටතින් මේ පිපිරීම සිදුව ඇති බවයි.

නිලධාරීන් පවසන ආකාරයට ප්‍රහාරකයා පැමිණ ඇත්තේ යතුරු පැදියකින්.

තවත් බෝම්බයක් අසල වූ ස්ථානයකින් සොයා ගත අතර පාලනය කරන ලද තත්වයන් යටතේ එය පුපුරවා විනාශ කළ බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර තවත් බෝම්බ පිපිරීමක් ජලලාබාද් දේවස්ථානයක් අසළ සිදුවී ඇති නමුත් කිසිවෙකුටත් හානියක් සිදුවී නැති බවයි වාර්තා වන්නේ.

බැංකුවට ප්‍රහාරය එල්ල කලේ කවර කණ්ඩායමක් විසින් ද යන්න තවමත් හෙළිවී නැත.

මීට ප්‍රථම තාලිබාන් සටන් කරුවන් විසින් බැංකු, හමුදාවට බඳවාගැනීමේ මධ්‍යස්ථාන සහ අමාත්‍යංශ ඉලක්ක කරගෙන මෙයට සමාන පහර දීම් සිදුකොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර