සබීන් මෙහ්මුද් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්

Image copyright

පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාධාරිනියක වන සබීන් මෙහ්මුද් (Sabeen Mehmud) ඝාතනය කරනු ලැබීම අගමැති නවාස් ෂරීෆ්ගේ (Nawaz Sharif) හෙළා දැකීමට ලක් වෙයි.

එම ඝාතනය පිලිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අගමැතිවරයා පොලීසියට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

බලුකිස්තාන් පළාතේ දී දේශපාලන ක්‍රියාධරයන් පිරිසක් වධහිංසා පමුණුවා මරා දමනු ලැබීම පිළිබඳව පකිස්තාන් හමුදාවට ඇති සම්බන්ධතාවය සාකච්ඡාවට ගත් සම්මන්ත්‍රණයකට සහභාගී වී කරච්චි නුවර පිහිටි තම නිවස බලා යමින් සිටිය දීයි සබීන් මෙහ්මුද්ට වෙඩි තබා මරා දමා තිබුණේ.

පකිස්තානයේ සිටින මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් ද මෙම ඝාතනය හෙළා දකිනු ලැබ ඇත.

වයස අවුරුදු තිස් අටක් වූ සබීන් මෙහ්මුද් මරා දමනු ලැබෙන විට මානව හිමිකම් වලට අදාළ ශුභ සාධක ආයතනයක අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරමින් සිටියාය.

ඇයගේ තවත් කාර්යයක් වුනේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ නිතර පැවැත්වුණු පොත් සාප්පුවක් ද පවත්වා ගෙන යාමයි.