සහනාධාර බෙදීම අවිධිමත්: නේපාල ජනතාව කෝපයෙන්

Image copyright Reuters
Image caption දස දහස් ගණනක් පිරිස සහනාධාර බෙදාහැරීමේ අවිධිමත් බව පිලිබඳව කෝපයට පත් ව ඇති බවයි පැවසෙන්නේ

නේපාල භුමි කම්පාවෙන් විපතට පත් ඈත දුෂ්කර ප්‍රදේශ වල ජනතාව වෙත හදිසි සහනාධාර ලබා දීම ආරම්භ වී තිබේ.

එහෙත් සහනාධාර බෙදා දීම විධිමත් ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වීම පිළිබඳව නේපාල රජය දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

භුමි කම්පාවෙන් දිවි බේරා ගෙන සතර වෙනි දිනයටත් හිසට සෙවනක් නොමැතිව කත්මන්ඩු නගරයේ සුන් බුන් අතර එළිමහනේ රැය පහන් කරන, දස දහස් ගණනක් පිරිස සහනාධාර බෙදාහැරීමේ අවිධිමත් බව පිලිබඳව කෝපයට පත් ව පොලීසිය සමග ආරවුල් ඇති කර ගන්නා බවයි වාර්තා වන්නේ.

ඈත පළාත්වල සිටින තම නෑ හිතවතුන් වෙත යාමට බස් රථ වලට නැග ගැනීමට උත්සාහ ගන්නා පිරිස් අතර ද පොර බැදීම් හේතුවෙන් ආරවුල් හටගන්නා බවයි සඳහන් වන්නේ.

මේ වන විට 5000 කට වැඩි පිරිසක් මේ භුමි කම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර