නේපාලයේ නැවත හට ගත් භූමිකම්පාවෙන් හතළිහක් මරුට

Image copyright

නේපාලයේ නැවත හට ගත් භූමිකම්පාවෙන් පසු මරණ හතළිහක් වාර්තා වී ඇති බව එරට බලධාරීහු පවසති.

භූමිකම්පාව හට හත් අවස්ථාවේ බියෙන් තැති ගත් කත්මණ්ඩු අගනුවර දහස් ගණන් ජනයා නිවෙස් වලින් පිටතට පැන වීදි පුරා දිව ගොස් තිබේ.

කත්මන්ඩු අගනුවර පිහිටි ඇතැම් ගොඩනැගිලි කඩා වැටී ඇති අතර තුවාල ලබා ඇති පිරිස දහසකට අධිකයි.

‘විශාල කම්පනයක් එක්ක මිනිස්සු භීතියට පත් වුනා. ඔවුන් කෑ ගැහුවා, දෙවියන්ට කන්නලව් කළා. දවස් දාහතකට පෙර ඇති වූ භූමිකම්පාවෙන් හානි වෙලා ඉතිරි වූ නිවාසත් විනාශ වුනා. පුද්ගලිකව මේක මට මරණීය අත්දැකීමක්’ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ සහන සේවයේ නිරත වී සිටි තරුණයෙක් පැවසුවේය.

Image copyright AP

භූමිකම්පාව හට ගෙන තිබෙන්නේ කත්මණ්ඩු අගනුවරින් කිලෝමීටර හැත්තෑ පහක් දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක් කේන්ද්‍ර කර ගනිමින්.

ඉන්දියාව

භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන පහක් වත් හට ගත් අතර, භූමිකම්පාව අසල්වැසි ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ බිහාර් ප්‍රාන්තයටද දැනී තිබේ.

උතුරු ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ දාසය දෙනකු මරුමුවට පත් වී ඇති බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ.

භූමිකම්පාවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලට අලාභ හානි සිදු වී ඇති නමුත්, කිසිදු ශ්‍රී ලාංකිකයකුට අනතුරක් වී නැති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පැවසුවේය.

සති කිහිපයකට පෙර, නේපාලයේ ඇති වූ භූමිකම්පාවට හසු වී මරුමුවට පත් සංඛ්‍යාව අට දහසකට ආසන්නයි.