අනවසර සංක්‍රමණිකයන්; නීතියේ පිළිසරණ පිළිබඳ විමසුමක්

Image copyright AFP
Image caption අනවසර සංක්‍රමණිකයන් සහිත බෝට්ටුවක්

මහ සයුරේ අතරමංව සිටි අනවසර සංක්‍රමණිකයන්ගෙන් අටසීයක පමණ පිරිසක් ප්‍රදේශයේ ධීවරයන්ගේ ආධාරයෙන් ඉන්දුනීසියානු වෙරලට ලඟා වූ අතර තවත් සිය ගණනක් අනවසර සංක්‍රමණිකයන් මුහුදේ බෝට්ටුවල ඇතැයි සැලකෙයි.

තායිලන්තය,මැලේසියාව සහ ඉන්දුනීසියාව ඉහත කී අනවසර සංක්‍රමණිකයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි එම මානවීය අර්බුදය උග්‍ර අතට හැරී තිබෙන්නේ.

සමාජ සබඳතා පිලිබඳ බීබීසී වාර්තාකරු ජෝන් මැක්මනස්, මෙම අනවසර සංක්‍රමණිකයන්ට නීතිය අතින් ලැබෙන රැකවරණය කුමක්ද යන්න පිළිබඳව නිරීක්ෂණයක නිරත වූ අතර එම ජනතාවට සහාය වීම අතින් සමුද්‍රාසන්න රාජ්‍යයන් සතු ජාත්‍යන්තර බැඳීම පිළිබඳවත් ඔහුගේ අවධානය යොමුව ඇත.

තම ගුවන් පථය ඔස්සේ පියාසර කරමින් තිබියදී අනතුරට ලක් වූ ගුවන් යානයක් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට මුහුදේ අනතුරට පත්ව සිටින අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ද ඔවුන් රැඳී සිටින සමුද්‍රාසන්න රටවල් කටයුතු කළ යුතුය යන හැඟීමක් බාහිර ලෝකය තුල පවතින්නට ඉඩකඩ ඇති බවයි බීබීසී මාධ්‍යවේදියා පවසන්නේ.

Image copyright Reuters
Image caption මධ්‍යධරනී මුහුදේ දී බේරා ගත් අනාථයන් පිරිසක්

මෙහිදී ඔහු ඉස්මතු කරන කාරණයක් වන්නේ ඉහත කී ආකාරයේ අනවසර සංක්‍රමණිකයන්ට බල පැවැත්වෙන නීතිය කුමක්ද යන්නයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය

මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර ගිවිසුම් කීපයක් සහ වෙනත් ලේඛන ඇති බව ජාත්‍යන්තර සාමුද්‍රික සංවිධානය (IMO) පවසන බවයි ජෝන් මැක්මනස් වාර්තා කරන්නේ.

‘ඒවා අතර මුල් තැන ගන්නේ සාගර නීතිය පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියයි. 1994 පටන් එම ප්‍රඥප්තිය බල පැවැත්වෙනවා’ බීබීසී මාධ්‍යවේදියා පෙන්වා දෙයි.

මුහුදේ අතරමංව අනතුරු දායක අඩියක සිටින කවර වූ හෝ පුද්ගලයකු වේ නම් ඕනෑම නැවක් ඔහුට පිහිට විය යුතු බවයි එම ප්‍රඥප්තියේ 98 වැනි වගන්තිය මගින් කියා සිටින්නේ.

එසේම මුහුදේ අනතුරුදායක තත්වයක සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාවට අදාළ සෝදිසි සහ බේරා ගැනීමේ මෙහෙයුම්වල දී අදාළ සමුද්‍ර කලාපයේ රටවල් අන්‍යෝන්‍ය අසල්වැසි සහයෝගය නංවා ලිය යුතු බවත් එහි දැක්වෙයි.

එහෙත් අන්දමන් මුහුදේ අනාථ වී සිටින අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් එම ප්‍රඥප්තිය ක්‍රියාත්මක වී නැති බව සමාජ සබඳතා පිලිබඳ බීබීසී වාර්තාකරු ජෝන් මැක්මනස් පෙන්වා දෙයි.

Image copyright AFP Getty Images
Image caption මුහුදේ අතරමං වූවන් බේරා ගැනීමේ මෙහෙයුමක්

නීතිය සහ භාවිතය

‘මුහුදේ දී අනතුරට පත් වෙන ජීවිත බේරා ගනිමු’ යන තේමාව යටතේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම සමුළුවක් පැවැත්වූ අතර පවතින තත්වය වඩාත් යහපත් අතට ගෙන ඒමට ගත යුතු පියවර පිළිබඳව එම සමුළුවේ අවධානය යොමු විය.

එක්සත් ජාතීන්ගේ කොමිසම එම සමුළුවට සහභාගී වූ රටවලට දීර්ඝ කාලයක සිට බල පැවැත්වෙන සාම්ප්‍රදායික සමුද්‍ර සම්ප්‍රධායයන් ගැන මෙන්ම අදාළ ජාත්‍යන්තර නීතිය පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත් අතර මුහුදේ විපතට පත් ජනයාට පිහිට වීමේදී ඒ ඒ රටවලට සහ නැව්වල කපිතාන්වරයන්ට පැවරෙන වගකීම් පිළිබඳව ද අවධාරණය කරනු ලැබුණි.

එහෙත් එවැනි සෝදිසි සහ බේරා ගැනීමේ මෙහෙයුම් වල දී මුහුණ දීමට සිදු වෙන දුෂ්කර බලපෑම තේරුම් ගත හැකි බවත් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම පිළි ගනියි.

ඊට හේතු වන්නේ දේශපාලන අභිලාශයක් නොවීම සහ මුදල් සහ සම්පත් හිඟය විය හැකි බවත් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම පිළි ගනියි.

වාණිජ නැව්වල පසුබෑමට හේතු

විශේෂයෙන්ම වාණිජ නැව් එවැනි බේරා ගැනීමේ මෙහෙයුම් ඉදිරියේ පසුබෑම සඳහා ඊට වැයවෙන වියදම මෙන්ම ඔවුන්ට මුහුණ දීමට සිදු වෙන ප්‍රමාදයද හේතු වෙයි.

Image copyright AFP
Image caption ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක්

වාණිජ නැව් වලට බල පවත්වන ඊළඟ ප්‍රශ්නය වන්නේ බේරා ගනු ලැබුණ පුද්ගලයන් භාර ගැනීමට කිට්ටුම රටවල් අකමැති වීමයි.

එපමණක් නොව, මිනිසුන් රටින් රටට පැටවීම සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීති අනුව දඬුවම් ආදියට මුහුණ දීමට පවා එම නැව් වලට සිදු විය හැකිය.

මුහුදේ අතරමංව අනතුරුදායක අඩියක සිටින පුද්ගලයන් බේරා ගැනීම සඳහා බල පැවැත්වෙන නීති අනුව ක්‍රියා කිරීමට ඇතැම් රටවල් මැලි වන්නේ එවැනි සංකීර්ණ හේතු නිසා බවත් පැවසෙයි.

අන්දමන් මුහුදේ අතරමංව සිටින වෙනත් රටවලින් පැමිණි අනවසර සංක්‍රමණිකයන්ට අහාරපාන සැපයීම සහ නවාතැන් දීමට එම මුහුද ආසන්නයේ පිහිටි රටවල් මැලිවන්නේ ඉහත කී ආකාරයේ කරුණු රාශියක් හේතුවෙනි.