රමාදී නගරය මුදා ගැනීමේ මෙහෙයුම් ඇරඹේ

Image copyright b

ඉරාන ආරක්ෂක ඇමති හොසේන් ඩෙග්හාන් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට පැමිණ සිටියි.

ඔහු බැග්ඩෑඩ් නුවරට පැමිණියේ ටෙහෙරානයේ ආධාර ලබන ෂියා සටන්කාමි කණ්ඩායම් රමාදී නගරය බලා ගමන් ආරම්භ කළ බවට වාර්තා පළ වන අතරතුරයි.

ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ සටන්කාමීහු පසුගිය ඉරිදා රමාදී නගරයේ බලය අල්ලා ගත්හ.

උතුරු සහ බටහිර ඉරාකයේ සුන්නි මුස්ලිම් ජනකොටස් බහුලව වෙසෙන ප්‍රදේශවල බලය පසුගිය වසරේ ගිම්හාන සමයේ දී තම ග්‍රහණයට ගත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයමෙතෙක් ලබා ගත් වැදගත් ම ජයග්‍රහණය රමාදී නගරය අල්ලා ගැනීම බවයි මැදපෙරදිග බිබිසි වාර්තාකරු පවසන්නේ.

මේ වසරේ මුල් භාගයේදී ටිකිරිට් නගරය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයෙන් මුදා ගැනීම සඳහා ෂියා සටන්කාමීන් ඉරාක හමුදාවට විශාල පිටුබලයක් වූ නමුත් නිකායවාදී ගැටුම් ඇවිලී යනු ඇතැයි බිය පළකරන බැග්ඩෑඩ් බලධාරීන් ෂියා සටන්කාමීන්ගෙන් ආධාර ලබා ගැනීමට මැලි කමක් දක්වන බවයි බිබිසී වාර්තාකරු කියා සිටින්නේ.