ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘දේදුනු ආදරයට’ අයර්ලන්ත ජනතා අනුමැතිය

අයර්ලන්ත ජනරජය තුල සමලිංගික විවාහය නීතිගත කල යුතුද නැද්ද යන්න තීන්දු කිරීමේ ජනමත විචාරනයෙන් ඊට පක්ෂපාතී බලවේගය ජය ගැනීමත් සමඟ ඩබ්ලින් අගනුවර ඇතුළු ප්‍රධාන නගර උත්සවශ්‍රීයක් ගනු ලැබුණි.

අයර්ලන්ත ජනරජයේ ජාතික මැතිවරණයකදීවත් දක්නට නොලැබෙන උනන්දුවක් සහිතවයි ජනමත විමසුම පැවැත්වුණේ.

අයර්ලන්තවාසීන් අතර මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් කොතරම් උනන්දුවක් වීද යත් විදේශගත අයර්ලන්ත ජනරජ වැසියන් ගුවනින් සහ නැව් මගින් සියරට කරා ලඟා වූ බවයි බීබීසිය වාර්තා කළේ.

Image copyright bbc
Image caption ජයග්‍රහණය භුක්ති විඳින සමලිංගික විවාහ ආධාරකරුවන්

සමලිංගික විවාහයට කැමතිද නැද්ද යන ප්‍රශ්නයට ‘ඔව්’ හෝ ‘නැහැ’ කියා පිළිතුරු සැපයීමයි අයර්ලන්ත ජනරජවාසීන්ට පැවරුණ කාර්යය වුණේ.

මෙම ජනමත විමසුමේ ඡන්ද ගණන් කරමින් තිබියදීම සමලිංගික විවාහ විරෝධී බලවේගයට නායකත්වය දෙමින් එය මෙහෙය වූ ප්‍රධානියා පරාජය භාර ගැනීම විශේෂ සිදු වීමක්.

රටවල් දහනවයක්

සමලිංගික විවාහ සංස්ථාවට එරෙහි මතවාදය මෙහෙයවන ලද අයර්ලන්ත සමාජය තුල ආගම නංවා ලීමේ ව්‍යාපාරය මෙහෙයවන ‘ඉයෝනා’ ආයතනයේ ප්‍රධානී ඩේව් ක්වින් (David Quinn) සමලිංගික විවාහ සංස්ථාවට සහයෝගය පල කරන බලවේගයට ශුභ පතන ලද බවයි වාර්තා වන්නේ.

අයර්ලන්ත ජනරජයේ සමලිංගිකයන්ට පක්ෂපාතී මතවාදය ජය ගැනීමත් සමඟ මහජන මතය අනුව එම අයිතිය නීතිගත කෙරෙන පළමු රට බවට අයර්ලන්ත ජනරජය පත් විය.

ජනමත විමසුම පෙරට යද්දී ආණ්ඩුවේ ඇමතිවරුන් ද සමලිංගික විවාහය නීතිගත කිරීමට සහයෝගය පළ කරමිනුයි අදහස් පළ කළේ.

Image copyright bbc
Image caption ජනමත විචාරන අවසන් ප්‍රතිපලය බලා සිටින සමලිංගික යුවලක්.

සමලිංගික සබඳතා ජීවිතය පළමු වරට ප්‍රසිද්ධියේ පිළිගත් අයර්ලන්ත ජනරජයේ පළමු ඇමතිවරයා වන සෞඛ්‍යය ඇමති ලියෝ වරද්කාර් එය නීතිගත කිරීමේ ව්‍යාපාරය විග්‍රහ කලේ සමාජ විප්ලවයකට කිට්ටු දෙයක් හැටියටයි.

මේ ජනමත විචාරණය පැවැත්වෙන්නේ සමලිංගික සබඳතා පැවැත්වීම සාපරාධී වරදක් නොවන බව අයර්ලන්ත ජනරජය විසින් තීන්දු කරනු ලැබීමෙන් වසර 22 කට පසුවයි.

සමලිංගික ජෝඩු නිල මට්ටමින් ව්‍යවස්ථාපිත කරනු ලැබීමේ මහජන සබඳතා නීතිය අයර්ලන්ත ජනරජය 2010 වසරේ දී බල ගැන්වූ අතර එහි ඊළඟ පියවරයි මෙම ජනමත විචාරණය.

සම ලිංගික විවාහය මේ වන විට ලෝකයේ රටවල් දහනවයක නීතිගත කරනු ලැබ ඇත.