දිවි ඇති තෙක් සිර ගත වුවත් නොසිතූ ලෙස නිදහස

Image caption දැනට තහනමට ලක් වී තිබෙන ‘මුස්ලිම් සහෝදරත්වය’ සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකුගේ පුත්‍රයෙකු බවයි පැවසෙන්නේ

මුස්ලිම් සහෝදරත්වය නමැති සංවිධානය පිළිබඳව වැරදි තොරතුරු පැතිරවීම ඇතුළු චෝදනා සඳහා වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගත කර සිටි ඊජිප්තු සහ ඇමරිකානු ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයෙකු ඊජිප්තුව විසින් නිදහස් කරනු ලැබ තිබේ.

නිදහස ලැබූ මොහොමඩ් සොල්ටාන් (Mohammed Soltan) ඇමරිකාව බලා පිටත්වී ගිය බවයි වාර්තා වන්නේ.

දැනට තහනමට ලක් වී තිබෙන ‘මුස්ලිම් සහෝදරත්වය’ සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකුගේ පුත්‍රයෙකු වන සොල්ටාන් අත් අඩංගුවට ගනු ලැබුවේ බලයෙන් පහ කෙරුණු ජනාධිපති මොහොමඩ් මොර්සි ට සහය පළ කෙරෙන විරෝධතාවක් වෙත ආරක්ෂක හමුදා කඩා වැදුණු අවස්ථාවේ දී.

මොහොමඩ් සොල්ටාන් (Mohammed Soltan) ගේ මස්සිනා සහ ඇමරිකානු නීතිඥයෙකු ද වන වලීඩ් නසාර් (Waleed Nassar) බීබීසී යට පැවසුවේ ඔහු නිදහස් කොට ඊජිප්තුවෙන් පිටුවහල් කිරීම ඔහුගේ නිර්දෝෂී භාවයට සාධකයක් බවයි.

“ඔහු දැන් නිදහස් මිනිසෙක්. අප්‍රියෙල් මාසයේ දී ඊජිප්තුවේ බන්ධනාගාරයක ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වුණා. අපි දකින විදියට මේ පිටුවහල් කිරීමෙන් සනාථ වෙනවා ඔහු කිසි වරදක් නොකළ බව සහ ඔහු රඳවා ගෙන සිටීම සඳහා කිසිදු හේතුවක් නැති බව. ඒ වුනත් ඔහුට විරුද්ධ චෝදනා ඊජිප්තු පාර්ශවයෙන් ඉවත් කරගෙන නැහැ” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර