දිල්ලියේ නීති ඇමතිගේ 'නීති උපාධිය ව්‍යාජයි'

Image copyright AFP
Image caption දිල්ලි පරිපාලන කලාපයේ නීති කටයුතු පිළිබඳ අමාත්‍ය ජිතෙන්දර් සිං තෝමාර්

ව්‍යාජ නීති උපාධියක් ඉදිරිපත් කළ බවට සැක පිට ඉන්දීය පොලිසිය විසින් දිල්ලි පරිපාලන කලාපයේ නීති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අමාත්‍ය ජිතෙන්දර් සිං තෝමාර් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු බිහාර් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයීය නීති උපාධිය සම්පූර්ණ කර නොමැති බවට ඇති වූ සැකය හේතුවෙන්.

වංචා සහගත ලෙස කූට ලේඛන ඉදිරිපත් කිරීම යටතේ ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර අමාත්‍යවරයා කියා සිටියේ තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත බවයි.

අමාත්‍ය ජිතෙන්දර් සිංට එරෙහිව ද්වේශ සහගත ප්‍රචාර ගෙන යන බවට දූෂණයට එරෙහිව සටන් වැදීම සඳහා ලබා දුන් ජනවරමෙන් බලයට පැමිණි අමාත්‍යවරයා නියෝජනය කරන ආම් ආද්මී පක්ෂයේ සෙසු සාමාජිකයෝ සිය දේශපාලන ප්‍රතිවාදීන්ට චෝදනා කරති.