යේමනයේ අල් කයිඩා නායකයා ඇමරිකානු ප්‍රහාරයකින් මරුට

Image copyright AP
Image caption නසාර් අල් වුහායිශි, අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන් හා කලක් ඉතා සමීපයෙන් කටයුතු කළේය

යේමනයේ ක්‍රියාත්මක අල් කයිඩා කැරලි කණ්ඩායමේ නායකයා ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත් වී ඇති බව තහවුරු කරමින් එම සටන් සංවිධානය අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරයි.

නියමුවන් රහිත ගුවන් යානයකින් එල්ල කරන ලද ප්‍රහාරයකට හසු වී නසාර් අල් වුහායිශි ඇතුළුව තවත් දෙදනකු මරුමුවට පත් වී ඇති බවත් එම වීඩියෝ පටයේ සඳහන්.

නසාර් අල් වුහායිශි, අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන් හා කලක් ඉතා සමීපයෙන් කටයුතු කළේය.

අරාබි අර්ධද්වීප අල් කයිඩා සංවිධානය හෙවත් AQAP ලෙසද නසාර් අල් වුහායිශිට අයත් සටන් කණ්ඩායම හඳුන්වනු ලබයි.

එක්සත් ජනපදයට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණ කිහිපයකට AQAP සටන් කණ්ඩායම වගකිවයුතු බවට සැලකේ.

පසුගිය ජනවාරියේදී ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි චාර්ලි හෙබ්දෝ මාධ්‍ය ආයතනයට එල්ල කළ ප්‍රහාරයද ඒ අතරට එක් වේ.

පසුගිය මාස කිහිපය තුළ එල්ල කරන ලද ඇමරිකානු ගුවන් ප්‍රහාරවලට හසු වී AQAP ජ්‍යෙෂ්ඨ සටන් ප්‍රධානීන් සිව් දෙනකු මරුමුවට පත් වී තිබේ.

නසාර් අල් වුහායිශිගේ අනුප්‍රාප්තිකයා ලෙස කාසීම් අල් රයිමි නම් කරන බවත් වීඩියෝවේ සඳහන්.