ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තාලිබාන් කැරලිකරුවන්ගේ පාර්ලිමේන්තු ප්‍රහාරය

කාබුල් අගනුවර පාර්ලිමේන්තු මන්දිරය ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කළ තාලිබාන් කැරලිකරුවන්ට එරෙහිව ඇෆ්ගනිස්තාන් පොලිසිය විසින් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලද බව වාර්තා වෙයි.

ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසන්නේ ප්‍රහාරකයන් හත් දෙනකු මරා දමන ලද බවයි.

පාර්ලිමේන්තුවට එල්ල කෙරුණ ප්‍රහාරයේ දී විසි දෙනකු පමණ තුවාල ලැබ සිටින අතර අඩු තරමින් එක් අයකුගේවත් තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

තාලිබාන් ප්‍රහාරයේ දී මන්ත්‍රීවරුන් තුවාල ලබා නැති බවත් ඇෆ්ගනිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

කැරලිකරුවන් පාර්ලිමේන්තුවට පහර දීම ආරම්භ කරනු ලැබ තිබෙන්නේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකිනි.

අනතුරුව දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව පැයකට අධික කාලයක් සිදු වූ බවයි වාර්තා වන්නේ.

Image copyright AP

නව ආරක්ෂක ඇමතිවරයකු පත් කරනු ලැබීම සිය ප්‍රහාරයේ නිමිත්ත වූ බවයි කැරලිකරුවන් පවසන්නේ.

තාලිබාන් ව්‍යාපාරය පසුගිය කාල සීමාව ඇතුළත දකුණු ඇෆ්ඝනිස්තානයේ සැලකිය යුතු මට්ටමින් පෙරට පැමිණ ඇතැයි බීබීසී වාර්තාකරුවෙක් පවසයි.

ඒ අතරම, එම කැරලිකරුවන් උතුරු ඇෆ්ගනිස්තානයේ ද දිස්ත්‍රික්ක දෙකක් අල්ලා ගෙන ඇති බවත් වාර්තා වෙයි.