ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීනයේ බලු මස් සැණකෙළියක්

චීනයේ ගුවාන්ග්සි පළාතේ වෙළඳපොළක්.මෙහි විකිණෙන්නේ බල්ලන්.

මිනිසා සහ බල්ලා අතර පවතින මිතුදම මානව ඉතිහාසයේ ඈතට දිව යන්නක්.

නමුත් මෙම වෙළඳපලේ බල්ලන් විකිණෙන්නේ සුරතලය සඳහා නොවෙයි.මෙහි බල්ලන් විකිණෙන්නේ මිනිසුන්ගේ උදර පෝෂණය සඳහායි.

ග්‍රීෂ්ම උදාවත් සමග චීනයේ වාර්ෂිකව පැවැත්වෙන බලු මස් උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.

පිසන ලද බලු මස් ආහාරයට ගැනීම සඳහා ගුවාන්ග්සි පළාතේ වැසියෝ අවන්හලවල් වෙත ඇදී එති.

‘බලු මස් සෞඛ්‍ය සම්පන්නයි. හරියට ඌරු මස්, කුකුල් මස් වගේ. බල්ලව මරන්න ගෙන ආවේ කොහෙන්ද කියලා ඔබ හරියටම දන්නේ නැත්තම් හෝ ඌ ලෙඩ හැදිච්ච බල්ලෙක් නම් ඒ මස් කොහෙත්ම කෑමට සුදුසු නැහැ’ පිසින ලද බලු මසක රස බැලීම සඳහා අවන්හලක් වෙත පැමිණ සිටි ටෙන් ජ්‍යාන්යි පැවසුවේය.

මේ අතර යැන් ෂියෝයුන් ගුවාන්ග්සි වෙළඳපොළට ගොස් හෙට්ටු කරන්නේ මසට විකිණෙන බල්ලන්ගේ මිළ අඩු කිරීමට නොවේ. මිනිසාගේ හොදම මිතුරාගේ ජීවිතය බේරා ගැනීමටයි ඇය උත්සාහ කරන්නේ.

'බල්ලන් දසදහසක්'

සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධාරිනියක වන යැන් ෂියෝයුන් මසට විකිණෙන බල්ලන් මිලදී ගෙන ඔවුන්ට නැවත ජීවත් වීමේ වරම් ලබා දෙන්නීය. පසුගිය වසරේදී යැන් විසින් බල්ලන් තුන්සිය පනස් දෙනකු පමණ මිලදී ගනු ලැබුවාය.

රට පුරා වෙසෙන සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් වෙතින් පෙර වසරට වඩා මේ වසරේදී වැඩි මුදලක් ලැබුණු නිසා මෙවර වැඩි වැඩියෙන් බල්ලන් මිලදී ගැනීමට හැකි වනු ඇති බව ඇය කියා සිටියාය.

‘මිනිස්සු හුරු පුරුදු වෙච්ච දේවල් නවත්තන්න මේ වෙලාවේ අපිට පුළුවන් කමක් නැහැ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් තියනවා. සත්ව ආරක්ෂාව සඳහා අවශ්‍ය නීති ආණ්ඩුව විසින් ඇති කරනවා නම් මිනිස්සු නිකම්ම වෙනස් වේවි. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නීති ඇති කරන්නේ නැත්තම්, හැම අවුරුද්දකම අපි කිහිප දෙනෙක් ඇවිල්ලා මරන්න ඉන්න බල්ලෝ මිලදී ගන්න එකෙන් ඵලක් වෙන්නේ නැහැ’ ඇය සඳහන් කළාය.

සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් එසේ කීවත් තමා දිගටම බලු මස් වල රස බලන බවයි මේ අතර ඇතැමේක් කියා සිටියේ.

‘මේක අපේ චාරිත්‍රයක්. අපිට මනුස්සකමක් , කරුණාවක් නෑ කියලා ඔවුන් චෝදනා කරනවා. මම හිතනවා හැම මනුස්සයකුම වෙනස් තත්වයන් මත ජීවත් වෙනවා කියලා. හැම දෙනා දිහාම එක විදිහට බලන්න බැහැ. මම හිතුවොත් ඌරු මස් කන ඒක වැරදියි කියලා, එහෙම උනොත් කාටවත් ඌරු මස් කන්න බැහැ’ ලෑන් ෂියෝලි පැවසුවාය.

මෙවර උත්සවය සඳහා බල්ලන් දසදහසක් පමණ මරා දැමෙනු ඇති බව යි චීන රජයේ මාධ්‍ය නිවේදනය කළේ.