ග්‍රීසියට කෙටි කාලීන ණයක්

Image copyright Reuters
Image caption ග්‍රීසියේ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

ග්‍රීසිය ණය බරින් ගලවා ගැනීම සඳහා සම්පූර්ණ සහන පැකේජය ලබා දීමට පෙර ග්‍රීසියට ඩොලර් බිලියන හතක කෙටි කාලීන ණය මුදලක් ලබා දීමට යුරෝ කලාපීය රටවල් එකඟ වෙති.

එම තීරණය ගනු ලැබුවේ යුරෝ කලාපීය රටවල මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමක දීයි.

යුරෝපා සහන සැලසුම් අරමුදලෙන් මේ සඳහා මුදල් සම්පාදනය කෙරේ.

යුරෝපා කලාපයේ සාමාජික රටවල් 28, ග්‍රීසියට ලබා දීමට නියමිත සහන පැකේජය සම්බන්ධයෙන් හෙට සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර ග්‍රීක බැංකුවලට හදිසි මූල්‍යාධාර ලබා දීමේ මට්ටම ඉහල දැමීමට යුරෝපා සංගමයේ මහ බැංකුව තීරණය කොට තිබේ.

සති තුනක් මුළුල්ලේ වසා දමා ඇති බැංකු යළි විවෘත කිරීමට එමගින් අවස්ථාව සැලසේ.