බිරිඳ රවටන්නන්ට රතු එළියක්?

Image copyright AP

ස්වාමි පුරුෂයන් හට සිය සහකාරියන්ට රහසේ පෙම්වතියන් සොයා ගැනීම සඳහා පහසුකම් සලසන ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය සතු සේවාදායකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර තිබේ.

එම වෙබ් අඩවිය පරිහරණය කරනු ලබන සියලුම සේවාදායකයන්ගේ රහස්‍ය ලිංගික ෆැන්ටසියන් ඇතුළු තොරතුරු සහ බැංකු ණය කාඩ්පත් හරහා සිදු කළ මුදල් ගෙවීම්වලට සම්බන්ධ විස්තර ලබා ගැනීමට හැකි වූ බවයි අන්තර්ජාල හැකරුන් පවසන්නේ.

‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවියට හැකරුන් ඇතුළු වී ඇති බව පිළිගෙන ඇති එහි වෙබ් ක්‍රියාකරුවෝ සිය සේවාදායකයන් සතු සියලු තොරතුරු සොරකම් කර නමැති බව කියා සිටිති.

කැනඩාව මූලස්ථානයකර ගත් මෙම වෙබ් අඩවිය පරිහරණය කරන පුද්ගලයන්ගෙන් සුළු ප්‍රතිශතයකගේ තොරතුරු අන්තර්ජාලයට එක් කොට ඇති බව අන්තර්ජාල තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවීණයෙක් පැවසුවේය.

වෙබ් අඩවිය වසා දමන තුරු හැකරුන් විසින් සේවාදායකයන්ගේ තොරතුරු අන්තර්ජාලයට මුදා හරිනු ඇති බව අන්තර්ජාල තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යනයේ නියුතු බ්‍රයන් ක්‍රෙබ්ස් කියා සිටියේය.

ලිංගික ෆැන්ටසි

මේ අතර සොරකමට සම්බන්ධ හැකරුන් කණ්ඩායම කියා සිටියේ වෙබ් අඩවිය පරිහරණය කරන පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන් ඇතුළත් සත්‍ය තොරතුරු තමා වෙත ලබා ගැනීමට හැකි වූ බවයි.

සිය ගිණුම් මකා දැමීම සඳහා මුදල් ගෙවූ පුද්ගලයන්ගේ තොරතුරුද ඊට ඇතුළත් බව හැකරුන් කණ්ඩායම පවසා තිබේ.

වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් ගෙවීමකින් තොරව සිය ගිණුම් මකා දැමීමට තම සේවාදායකයන්ට ඉඩ සලසා ඇති බව මේ අතර ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය බීබීසීයට කියා සිටියේය.

ගිණුම් හිමියකුගේ තොරතුරු මකා දැමීම සඳහා වෙබ් අඩවිය විසින් පවුම් දොළහක් අය කර ගනු ලබයි.

මුදල් අය කර ගෙන ඇතිමුත් සේවාදායකයන්ගේ තොරතුරු මකා දමා නොමැති බවට හැකරුන් ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවියට චෝදනා කරයි.

නමුත් මුදල් අය කර ගනු ලැබීමෙන් පසු සේවාදායකයන්ගේ සියලු තොරතුරු මකා දමන බවයි වෙබ් අඩවිය පවසන්නේ.

රටවල් පනහකට අධික සංඛ්‍යාවක සිය සේවය ලබා ගන්නා ගිණුම් කරුවන් මිලියන තිස්හතක් සිටින බව ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය සඳහන් කළේය.