'හදිහුනියම් කළ කාන්තාව' -දහසයක් අත්අඩංගුවේ

Image copyright AFP

හදිහූනියම් කටයුතුවල නිරත වූ බවට චෝදනා කරමින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්ත ගම්වැසියන් විසින් වැඩිහිටි කාන්තාවක නිර්වස්ත්‍ර කොට ඇයගේ හිස ගසා දමා ඝාතනය කොට ඇත.

ඇසෑම් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් දාසය දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි.

අත්අඩංගුවට පත්වූ සැක කරුවන් අතර කාන්තාවන් හත් දෙනෙකුද සිටින බවයි පොලිසිය වාර්තා කරන්නේ.

ගම්මානයේ පැතිර ගිය රෝගයකට වගකිවයුතු බවට චෝදනා කරමින් ගම්වැසියන් විසින් හැටතුන් හැවිරිදි පූර්ණි ඔරන්ග් නම් එම කාන්තාවට චෝදනා එල්ල කර ඇති අතර පසුව මෙලෙස හිස ගසා ඝාතනයට ලක් කොට තිබේ.

හදිහූනියම් කටයුතුවල නිරත වූ බවට චෝදනා ලත් අනූ දෙනකු පමණ පසුගිය වසර හය ඇතුළත මෙලෙස ඝාතනය කොට ඇති බව ඇසෑම් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේය.

හිස ගසා දැමීම, පණ පිටින් පුළුස්සා දැමීම හෝ කපා කොටා මරා දැමීමට ගොදුරු වූ එම පිරිසෙන් වැඩි දෙනකු කාන්තාවන් වන බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

ඇසෑම් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර මෙවැනි අන්ධ විශ්වාසයන් බහුලව දක්නට ලැබේ.