විගණන වංචාවක් හේතුවෙන් ටොශීබා ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

Image caption 'සමාගමේ කොටස්කරුවන්ට වගේම හවුල්කාර කණ්ඩායම්වලට අපි මුළු හදින්ම කනගාටුව පළ කරනවා'

මහා පරිමාණ විගණන වංචාවක වගකීම බාර ගනිමින් ජපානයේ විශාලතම ඉලෙක්ට්‍රොනික සමාගමක් වන ටොශීබා ආයතනයේ ප්‍රධාන විධායක හිසාඕ ටනකා සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

බලවත් සේ පශ්චාත්තාපයට පත් වී සිටි ඔහු මාධ්‍ය සාකච්ජාවකදී කියා සිටියේ එම වංචාව වසර එක සිය හතළිහක ටොශීබා සමාගම් ඉතිහාසයේ වඩාත්ම හානියක් ගෙන දුන් සිද්ධිය බවයි.

ඉදිරියේදී ඇති වන ගැට‍ළු කඩිනමින් විසඳා ගැනීමට නොහැකි වනු ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

‘මේ සිද්ධ වෙච්ච දේ අපි බරපතළ විදිහට සලකනවා. සමාගමේ කොටස්කරුවන්ට වගේම හවුල්කාර කණ්ඩායම්වලට අපි මුළු හදින්ම කනගාටුව පළ කරනවා’ ප්‍රධාන විධායකවරයා ධුරයෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කරමින් කියා සිටියේය.

Image copyright Reuters
Image caption ටොශීබා ආයතනය ජපානයේ විශාලතම ඉලෙක්ට්‍රොනික සමාගමක් අතුරින් එකක්

මේ අතර සෙසු ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීහු සමාගමෙන් ඉවත් වෙමින් සිටිති.

ප්‍රධාන විධායකවරයා මෙලෙස ඉල්ලා අස්වුණේ ටොශීබා සමාගම 2008 වසරේ සිට එහි ලාභය ඩොලර් බිලියන 1.2 කින් වැඩි බවට අධි තක්සේරු කර ඇතැයි පරීක්ෂකයන් විසින් සොයා ගනු ලැබීමෙන් අනතුරුවයි.

අතාත්වික නිෂ්පාදන ඉලක්ක කරා යමින් සිටි සමාගමේ කළමනාකරුවන් මේ පිළිබඳ දැන සිටි බවත් පරීක්ෂකයෝ පවසති.