මෝසම් කාලගුණ අනාවැකි සැබෑ නොවන්නේ ඇයි?

Image copyright SPL

ඉන්දියන් සාගරයේ පවතින විශේෂිත මිරිදිය ජල ස්තරය, දකුණු ආසියාවේ මෝසම් කාලගුණයට බලපෑම් කළ හැකි බව විද්‍යාඥයින් පවසයි.

විශේෂිත මිරිදිය ජල ස්තරය වශයෙන් අදහස් කරනු ලබන්නේ ඉන්දියන් සාගරයට ගලා එන ගංගා සහ වර්ෂා ජලයෙන් නිර්මාණය වූ ජල තට්ටුවයි.

විද්‍යාඥයින් කණ්ඩායම පවසන්නේ කාලගුණ විද්‍යාඥයින් විසින් භාවිතා කරන කාලගුණ නිර්ණය කිරීමේ ආකෘති වලට ලවන මිශ්‍ර නොවූ ජල පරිමාණයේ දත්ත ද ඇතුළත් කළ යුතු බවයි.

Image copyright AFP

ඉන්දියන් සාගරයේ ඇති විශේෂිත මිරිදිය ජල ස්තරය ආසියානු කාලගුණයට බලපාන ආකාරය සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කිරීමට ආරම්භ කර ඇති බවයි දකුණු ඉන්දියානු කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.

කාලගුණික අනාවැකි

කාලගුණ වෙනස් වීම් සහ තවත් විවිධ හේතු මත වර්තමානයේ කාලගුණ විද්‍යාඥයින්ට මෝසම් කාලගුණය සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීම ඉතා අසීරු තත්වයකට පත්ව තිබේ.

ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු අසල්වාසී රට වලට පතනය වන වර්ෂාවෙන් 70% ක් ම ලැබෙන්නේ ජුනි සහ සැප්තැම්බර් මාස වල මෝසම් කාලගුණයේ බලපෑමෙනි.

මෑත වකවානුව තුළ දකුණු ආසියාව දීර්ඝ කාලීන නියඟ වලට මුහුණ දීම සහ දැඩි මෝසම් වර්ෂාවෙන් ඇති වන ක්ෂණික ගංවතුර හමුවේ පීඩා විදිමින් සිටින අතර සිය කාලගුණයට අධික බලපෑමක් කළ හැකි මෝසම් සමය පිළිබඳ කලාපයේ විද්‍යාඥයින්ගේ දැඩි අවධානය යොමුව තිබේ.

උදාහරණයක් ලෙස මේ වසරේ ජුනි මාසයේ ඉතා අධික වර්ෂා පතනයක් දකුණු ආසියාවේ වාර්තා වී ඇති අතර ජුලි සහ අගෝස්තු මාස වල සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවටයි කාලගුණ අනාවැකි පළ වී තිබෙන්නේ.

දකුණු ආසියාවේ ප්‍රධාන ගංගා වන ගංගානම් නදිය, බ්‍රහ්මපුත්‍ර සහ ඉරාවදී ගංගාව ඉන්දියන් සාගරයට වැටෙන්නේ බෙන්ගාල බොක්ක හරහාය.

ඝනත්වයෙන් අඩු සාගර මතුපිටක්

Image copyright Getty

බෙන්ගාල බොක්ක නිරාවරණය වන මෙම විශේෂිත මිරිදිය තත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.

එම ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරන වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යාව සම්බන්ධ මහාචාර්ය එරික් ඒ අසරෝ පවසන්නේ දකුණු ආසියාවේ ප්‍රධාන ගංගා හතරක මිරිදිය එකතු වීමෙන් බෙන්ගාල බොක්ක විශේෂිත පරිසරයක් නිර්මාණය කරන බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ බෙන්ගාල බොක්කේ නිර්මාණය වී ඇති මෙම විශේෂිත පරිසර තත්වය මෝසම් කාලගුණය සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීමේ දී නිසි ලෙස සැලකිල්ලට නොගන්නා බවයි.

මේ හේතුවෙන් මෝසම් කාලය වශයෙන් හඳුන්වනු ලබන මාස තුනේ ඇතිවිය හැකි කාලගුණික වෙනස්කම් සහිතව වඩා සාර්ථක කාලගුණික අනාවැකි පළ කිරීමේ අවස්ථාව ගිලිහෙන බවයි මහාචාර්ය එරික් ඒ අසරෝ කියා සිටියේ.

Image copyright Reuters

ඔහු පවසන්නේ මෙම විශේෂිත නැවුම් ජල ස්තරය මගින් සාගරයේ මතුපිට ජල තට්ටුවේ ඝනත්වය අඩු කරන අතර එමගින් මෝසම් වලාකුළු වලට ජලය එකතු කර ගැනීමට හැකි වේගය වැඩි කරන බවයි.

අලුත් අත්දැකීමක්

කරදියෙන් සැකසුණු ඝනත්වයෙන් වැඩි සාගර මතුපිටක් මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ ඉතා අඩු වේගයකිනි.

ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායම පවසන්නේ ඉන්දියන් සාගරයේ කරදිය සහ මිරිදිය ජල තට්ටු ඉතා පැහැදිලි ලෙස මිශ්‍ර වීමකින් තොරව වෙන්ව පවතින අතර එක ජල තට්ටුවක් මීටර 100 සිට කිලෝමීටර් විස්සක් දක්වා පිළිවෙලින් පැතිර තිබෙන බවයි.

බංග්ලාදේශ කාලගුණික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශාම්ශුධීන් අහමඩ් කියා සිටියේ මේ වන විට සිය රටේ මෝසම් කාලගුණ අනාවැකි පළ කිරීමට සාගරයේ පවතින මිරිදිය ජල ස්ථරයේ බලපෑම ගණනය නොකරණ බවයි.

සාර්ථක මෝසම් කාලගුණ අනාවැකි පළ කිරීමට නම් මෙම කරුණ සිය නිර්ණය ආකෘති වලට ඇතුළත් කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කළ යුතු බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

පකිස්තාන කාලගුණ විද්‍යාඥයින් කියා සිටියේ සිය රටේ මෝසම් කාලගුණික අනාවැකි පළ කිරීමට සාගර මතුපිට පවතින උෂ්ණත්වය සාධකයක් වශයෙන් මේ වන විට යොදා ගත්තද සාගරයේ පවතින මිරිදිය ජල ස්ථරයේ බලපෑම සම්බන්ධයෙන් තමන්ට දැනීමක් නොතිබූ බවයි.

ඔවුන් පවසන්නේ දකුණු ආසියානු කලාපයේ කාලගුණ විද්‍යාඥයින්ට අලුත් අත්දැකීමක් වන මිරිදිය ජල ස්ථරයේ බලපෑම වැඩි දුර අධ්‍යනය කළ යුතු කාලගුණ නිර්නයේ නව සාධකයක් වනු ඇති බවයි.