විශ්වයෙන් 'තවත් පෘතුවියක්' සොයා ගනී

Image copyright nasa
Image caption නව ග්‍රහයා හඳුන්වා තිබෙන්නේ කෙප්ලර්-452b නමිනි.

නාසා ආයතනය විසින් කෙප්ලර් දුර දක්නය භාවිතයෙන් සිදු කරනු ලැබූ නිරීක්ෂණ වලින් සොයා ගන්නා ලද නව ග්‍රහයන් අතර පෘතුවියට සමාන ග්‍රහයෙකු සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.

නව ග්‍රහයා හඳුන්වා තිබෙන්නේ කෙප්ලර්-452b නමිනි.

සූර්යයාගේ සිට පෘතුවියට තිබෙන දුරට සමාන දුරක් නව ග්‍රහයා සහ එම සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා අතර පැවතියත්, නව ග්‍රහයා පෘතුවියට වඩා අරයෙන් 60%ක් විශාල බවයි පැවසෙන්නේ.

නාසා පරීක්ෂණ මෙහෙයවන විද්‍යාඥයින් පවසන්නේ දැනට සොයා ගෙන ඇති ග්‍රහයන් අතරින් පෘතුවියට සමානම ග්‍රහයා ලෙස කෙප්ලර්-452b හැඳින්විය හැකි බවයි.

නව ග්‍රහයා පෘතුවියේ සිට ආලෝක වර්ෂ එක්දහස් හාරසීයක් දුරින් පිහිටා තිබෙන බවයි නාසා ආයතනය පවසන්නේ.

නාසා ආයතනයේ විද්‍යා අංශ ප්‍රධානී විද්‍යාඥ ජෝන් ගෘන්ස්ෆෙල්ඩ් මෙය හැඳුන්වා දී ඇත්තේ 'පෘථිවිය 2.0' (Earth 2.0)යනුවෙනි.

පෘතුවියට සමාන ලක්ෂණ

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුසෑන් එයිග්‍රීන් පවසන්නේ දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක වල තොරතුරු හා සසඳන විට කෙප්ලර්-452b පෘතුවියට සමාන ලක්ෂණ රාශියක් පෙන්වන බවයි.

නව ග්‍රහයා සූර්යයාට සමාන තරුවක් වටා ගමන් කරන අතර එය සූර්යාට වඩා හතර ගුණයකින් විශාල, දස ගුණයකින් වඩා දීප්තිමත් බවයි සොයා ගෙන තිබෙන්නේ.

කෙප්ලර්-452b සිය සූර්යයා වටා පරිභ්‍රමණය වීමට දින 385ක් ගතවන අතර සිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය පෘතුවිය හා සසඳන විට පස් ගුණයකින් වැඩිය.

Image copyright PA

තවමත් කෙප්ලර්-452b නව ග්‍රහයාගේ ස්කන්ධය නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කිරීමට විද්‍යාඥයින් සමත් වී නැති නමුත් උපකල්පනය කර තිබෙන්නේ පෘතුවියට වඩා පස් ගුණයකින් වැඩි ස්කන්ධයක් පැවතීමට ඉඩ ඇති බවයි

මේ වන විට කෙප්ලර් දුර දක්නය භාවිතා කරමින් සූර්යයාට අසල්වැසි තාරකා වටා ගමන් කරන නව ග්‍රහලෝක 500ක් පමණ සොයා ගෙන ඇති අතර කෙප්ලර්-452b නව ග්‍රහයාට මෙතරම් අවධානයක් යොමු වී තිබෙන්නේ එය පෘතුවියට සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙනි.

කෙප්ලර්-452b තමන් පරිබ්‍රමණය වන තාරකාවෙන් දුරින් පිහිටා තිබෙන බැවින් ග්‍රහලෝකය මතුපිට ජලය හෝ වෙනත් දියර පැවතීමට ඉඩ ඇති බව විශ්වාස කලත් එම ග්‍රහ ලෝකය නිර්මාණය වී ඇත්තේ කුමන වර්ගයේ මාධ්‍යකින්ද යන්න තවමත් පැහැදිලි නැත.

නව ග්‍රහයා ගමන් කරනු ලබන තාරකාවේ දීප්තිමත් භාවය සැලකිල්ලට ගැනීමෙන් එය සූර්යයාට වඩා පැරණි බව තීරණය කළ හැකි බව පවසන විද්‍යාඥයන් කියා සිටින්නේ එම තාරකාව කෙමෙන් විශාල වෙමින් පවතින අතර එමගින් නව ග්‍රහයා මත පැවතීමට ඉඩ ඇතැයි විශ්වාස කෙරෙන සාගර සහ ජල උල්පත් සදා කාලිකවම සිදී යාමේ අවදානමක් පවතින බවයි.