IS කැරලිකරුවන්ට තුර්කි ගුවන් ප්‍රහාර

තුර්කි ගුවන් හමුදාව සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළහ.

'අන්කාරා' පාලනය IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් එවැනි ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ මෙහෙයුම් අණ දෙන ස්ථාන දෙකක් සහ ඔවුන්ට අයත් සාමාජිකයන් බඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල කළ බවයි තුර්කි හමුදා පවසන්නේ.

Image copyright AP

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සහ තුර්කි හමුදා අතර දේශ සීමාව ආසන්නයේ සටන් දරුණු වෙමින් පවතින බවත් වාර්තා වෙයි.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහි ප්‍රහාර සඳහා දකුණු තුර්කියේ 'ඉන්සර්ලික්' ගුවන් හමුදා මධ්‍යස්ථානය භාවිතා කිරීමට ඇමරිකානු හමුදාවන්ට ඉඩ දීමට ද තුර්කි රජය එකඟ වී ඇත.

එය ප්‍රබල ඉදිරි පියවරක් වශයෙන් හඳුන්වන ඇමරිකානු හමුදා කියා සිටින්නේ, ඇමරිකානු සහ තුර්කි එකාබද්ධ යුද මෙහෙයුම් පුළුල් පරාශයක දියත් කිරීමට එවැනි පියවරක් තුළින් හැකියාව ලැබෙන බවයි.