ත්‍රස්තවාදයට එරෙහි ඕස්ට්‍රේලියානු නව නීති ක්‍රියාත්මකයි

තුර්කියේ සිට ඔස්ට්‍රේලියාව බලා පැමිණෙමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතික හෙද සේවකයෙකුට සිඩ්නි ගුවන්තොටුපලේදී ත්‍රස්තවාදී ක්‍රියා යටතේ චෝදනා ඉදිරිපත් වී තිබේ.

ඇඩම් බ්රුක්මන් නම් මෙම හෙද සේවකයා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් තුර්කි බලධාරීන් භාරයට පත් වීමෙන් පසු ඕස්ට්‍රේලියාව බලා පැමිණ ඇති අතර සිඩ්නි නුවර ගුවන් තොටුපලේ දී ඔහුව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් රැඳවුම් භාරයට ගෙන තිබේ.

සිරියාවේ IS ඉස්ලාම් සංවිධානයේ බල කිරීම මත තමන්ට එම සංවිධානයේ ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට සිදු වූ බවයි ඇඩම් බ්රුක්මන් තුර්කි බලධාරීන්ට පවසා තිබෙන්නේ.

දැනුවත්ව IS සංවිධානයේ ක්‍රියා සඳහා උපකාර සැපයීමේ වරදට ඔස්ට්‍රේලියාව විසින් හඳුන්වා දුන් නව ත්‍රස්තවාදය වැළක්වීමේ නීතිය යටතේ ඇඩම් බ්රුක්මන්ට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.

Image copyright AP

ඕස්ට්‍රේලියානු පොලිසිය පවසන්නේ ඇඩම් බ්රුක්මන් ත්‍රස්තවාදී තර්ජනයක්ද යන්න තවමත් සාක්ෂි සහිතව ඔප්පු වී නැතත් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගැනීමෙන් බවයි.

සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාම් අන්තවාදීන් සමග සටන් වැදෙන ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයන්ගේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය අහෝසි කිරීමට සහ ඔවුන්ට විරුධව ත්‍රස්තවාදය වැළක්වීමේ නීති යටතේ දඬුවම් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු රජය කියා සිටියේ මින් මාස කිහිපයකට පෙරයි.

සම්පාදනය කෙරුණු නව නීති යටතේ කිසියම් පුද්ගලයෙකු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සැක කරුවෙකු වීම ඔහුගේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය අහෝසි කිරීමට ප්‍රමාණවත් අතර එම පුද්ගලයාට විරුද්ධව පෙර අපරාධ චෝදනා හෝ වැරදි ඔප්පු වී ඇතිද යන්න සලකා නොලැබෙන බවයි ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කොට තිබුනේ.

අවම වශයෙන් වසර විසි පහක් දක්වා සිර දඬුවමකට යටත් කළ හැකි බරපතළ චෝදනා ඇඩම් බ්රුක්මන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර