පන්ජාබයේ පොලිසියක් අල්ලාගත් තුවක්කුකරුවන් මරුට

Image copyright AP

ඉන්දියාවේ උතුරු පන්ජාබයේ පකිස්තාන දේශ සීමාව අසල පොලිස් ස්ථානයක බලය අල්ලා ගත් තුවක්කු කරුවන් සහ ඉන්දීය ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදු වෙමින් පැවති අතර මේ වන විට තුවක්කු කරුවන් සියල්ලම මරණයට පත් වී ඇති බවයි පැවසෙන්නේ.

ගුර්දස්පුර් පොලිස් ප්‍රධානී සල්වින්දර් සිං බීබීසියට කියා සිටියේ ගැටුම මේ වන විට නිම වී ඇති අතර ප්‍රහාර එල්ල කල තුවක්කු කරුවන් තුන් දෙනා මරණයට පත් වී ඇති බවයි.

ගැටුමෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් මිය ගිය බව වාර්තා වුවද තවමත් කොතරම් පුද්ගලයන් සංඛ්‍යාවක් මිය ගොස් ඇතිද යන්න වාර්තා වී නැත.

Image copyright AP

මෝටර් රථයක් පැහැර ගත් තුවක්කු කරුවන් විසින් ගුර්දස්පුර් දිස්ත්‍රික්කයේ පිහිටි බස් නැවතුම් පොළකට වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පොලිස් ස්ථානයට කඩා වැදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියාව විසින් පාලනය ගෙන යන කාශ්මීර ප්‍රදේශ වලින් මෙම තුවක්කු කරුවන් පැමිණ ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.

Image copyright AFP

ගැටුම් පවතින කාශ්මීරයේ ප්‍රදේශ වල මෙවැනි සිදුවීම් බහුලව සිදු වුවද අසල්වැසි පන්ජාබ ප්‍රදේශයක මෙවැනි ප්‍රහාරයක් දියත් කිරීම ඉතා දුර්ලභ අවස්තාවක් ලෙස පෙන්වා දිය හැකියි.

ඉන්දීය ආරක්ෂක හමුදා කණ්ඩායම් රැසක් මේ වන විට ගැටුම් සිදු වූ ප්‍රදේශයේ බලය තහවුරු කිරීමට යොදවා ඇති බවයි බලධාරීන් පවසන්නේ.

අසූව දශකයේ පන්ජාබයේ බෙදුම්වාදී කණ්ඩායම් විසින් ක්හාලිස්තාන් නමින් වෙනම රාජ්‍යක් පිහිටුවා ගැනීම වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලයක නිරත විය.

දශකයක් පුරා පැවති මෙම ගැටුම් අනූව දශකයේ මුල් භාගය වන විට පාලනය කර ගැනීමට ඉන්දීය රජය සමත් විය.