'ස්ත්‍රී ඝාතකයෙක්' ගණිකාවක් අතින් මරුට

Image copyright CBS
Image caption හතළිස්‌ පස් හැවිරිදි නීල් ෆෝල්ස්

ඇමරිකාවේ බටහිර වර්ජිනියාවේ ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවක් විසින් අන්තර්ජාලයේ පළ කරන ලද දැන්වීමක් ඔස්සේ ඇය හමු වීමට පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ හතළිස්‌ පස් හැවිරිදි නීල් ෆෝල්ස් නම් පුද්ගලයා සිය දැන්වීම දැක ඇය සොයා සිය නිවසට පැමිණි අතර ඉතා සාහසික ලෙස හැසිරීමට පටන් ගත් බවයි.

ඇය වැඩි දුරටත් කියා සිටියේ ඔහුගේ කමිස සාක්කුවක තිබී දැනටම ඝාතනය කළ හෝ ඝාතනය කිරීමට බලාපොරොත්තු වන නම් ඇතුලත් ලැයිස්තුවක් තිබී හමු වුනු අතර එය දැකීමෙන් තමන් අතිශයින් තැති ගත් බවයි.

නීල් ෆෝල්ස් තමන්ට පහර දීමට පටන් ගත් අතර සිය දිවි බේරා ගැනීම සඳහා දබරයේදී ඔහුගේ ඉනේ තිබී වැටුණු පිස්තෝලයකින් ඔහුට වෙඩි තැබූ බවයි කාන්තාව පවසන්නේ.

අභිරහස් ඝාතන

කාන්තාව විසින් පොලිසියට ලබා දුන් නම් ලැයිස්තුව පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු පොලිසිය පවසන්නේ ප්‍රාදේශීය ගණිකා වෘතිකයින් ඔහුගේ ඉලක්කය වී තිබූ බව එමගින් හෙළි දරව් වූ බවයි.

Image copyright CBS

බටහිර වර්ජිනියාවේ චර්ලෙස්ටන් පොලිසිය විසින් කරන ලද විමර්ශන වලින් නීල් ෆෝල්ස්ට අයිති මෝටර්රථයක තිබී පිහි සහ ආයුධ, වෙඩි නොවදින කමිසයක්, කුණුකසල ඉවත දමන කවර, සහ පිරිසිදු කිරීමට ගන්නා රසායන ද්‍රව්‍ය (bleach ) හමු වී තිබේ.

පොලිසියට මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව නීල් ෆෝල්ස් බටහිර වර්ජිනියාවේ පමණක් නොව ඒ අවට ප්‍රදේශ වලින් වාර්තා වූ ඝාතන වලට ද සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.

ඔහු මින් පෙර ජීවත් වූ ප්‍රදේශ වලින් අභිරහස් ඝාතන වාර්තා වී ඇති අතර තවමත් පොලිසියට විසඳීමට නොහැකි වී තිබෙන මෙම අපරාධ වලට ගොදුරු වී තිබෙන්නේ එම ප්‍රදේශ වල ගණිකා වෘත්තිකයින් බවයි වාර්තා වන්නේ.