ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගුවන් යානයක සුන්බුන් ඉන්දීය සාගරේ දූපතක

ගුවන් යානයකට අයත් බවට සැක කෙරෙන තවත් ලෝහමය කොටස් වෙරළට ගසා ගෙනවිත් ඇති බව ඉන්දීය සාගරයේ පිහිටි රීයූනියන් දූපතේ පොලිසිය පවසයි.

එම සුන්බුන් අතර ගුවන් යානයක දොරක් විය හැකි කොටසක් ඇති බව පවසන පොලිසිය ඒ මත විදේශීය භාෂාවකට අයත් අක්ෂර සහ රූපයකට අයත් වෙතැයි සිතිය හැකි කොටස් දැකිය හැකි බවයි කියා සිටියේ.

පසුගිය බදාදා රීයූනියන් දූපත් වෙරළේ තිබී සොයා ගත් ලෝහමය කොටස බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක තටුවකට අයත් බව නිල වශයෙන් හඳුනා ගෙන ඇති බව මේ අතර මැලේසියානු ප්‍රවාහන කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.

Image copyright n
Image caption රීයූනියන් දූපත් වෙරළේ තිබී පසුගිය බදාදා සොයා ගත් සුන්බුන් කොටස

එම සුන්බුන් කොටස පසුගිය වසරේ මාර්තු මාසයේදී අතුරුදහන් වූ MH 370 මැලේසියානු ගුවන් යානයට අයත් බවට පවතින සැකය ඉහළ යමින් පවතියි.

නිසි විමර්ශන සිදු කිරීම සඳහා එම සුන්බුන් කොටස මේ වන විට ප්‍රංශයට යවා තිබේ.

ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කරමින් සිටි MH 370 මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වන විට ඒ තුළ මගීන් දෙසීය තිස් නව දෙනෙක් ගමන් ගත්හ.