බොලිවුඩ් තිරයෙන් එපිට වේදනාව

සල්මාන් ඛාන් ගේ බජ්රාන්ගි භායිජාන් චිත්‍රපටය ජනප්‍රිය වීමත් සමඟ පකිස්තානයේ අතරමංව සිටින ඉන්දීය යුවතියකගේ ජීවිතය ගැන යළි කතා බහට ලක් වී තිබේ.

ඉහත කී චිත්‍රපටයට තේමා වී ඇත්තේ පකිස්තානයේ අතරමං වූ ඉන්දීය දැරියක් බේරා ගෙන යළි ඉන්දියාවට ගෙන එන කතාවකි.

පකිස්තානයේ අතරමංව සිටින ගීතා ගේ ජීවිත කතාවට බොහෝ සමාන කම් ඇති මෙම සිනමා අන්දරය ඇත්තටම ඇය අනුසාරයෙන් තනා ඇති චිත්‍රපටයක්ද යන සැකය බොහෝ දෙනාට පහල වී තිබේ.

මේ ගීතා ගේ කතාවයි.

දේශසීමාව පසු කර පැමිණි දැරියක් පකිස්තානු මුර භටයන්ට හමු වෙයි. ඇය පකිස්තානයේ ළමා නිවාසයකට භාර දෙන විට ඇයට වයස අවුරුදු එකොළහක් පමණ විය හැකි බවට අනුමාන කර කෙරුණි.

ඇය ගොළු සහ බිහිරි දැරියක් වන නිසාවෙන් ළමා නිවාසයේ පාලකයන් ඇය ඇමතුවේ ගීතා නමින්.

ගීතා දිනපොතක යම් යම් දේ ලියා තබන්නීය. ඒ හින්දි භාෂාවෙනි. ඒවා පකිස්තානුවන්ට කියවා තේරුම් ගත නොහැකිය.

ඇය ඉන්දීය සිතියමේ එක් ස්ථානයකට ඇඟිල්ල තබා පෙන්වන්නීය. ඒ ජාර්කන්ඩ් ප්‍රාන්තයයි.

2013 දී ඇගේ කතාව ඉන්දීය සහ පකිස්තානු පුවත් පත්වල පළ විය. අනතුරුව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ළමා නිවාසයට පැමිණ පොරොන්දු වී ඇත්තේ ගීතාගේ මව්පියන් සොයා දීමට කටයුතු කරන බවටයි.

නමුත් අද වනතුරු එය ඉටු වී නැත.

ගීතාට හින්දු ආගම ඇදහීම සඳහා මෙම ළමා නිවාසයේ කාමරයක් වෙන් කර තිබේ.

බජ්රාන්ගි භායිජාන් චිත්‍රපටයේ මෙන් සල්මාන් ඛාන් වැනි වීරයෙකු පැමිණ මව්පියන් සොයා දෙන තුරු ගීතා තවමත් බලා සිටින්නීය.