පළමු මාර්ග සංඥා එළිය දැල්වුනදා

Image copyright Google

ලොව ප්‍රථම මාර්ග සංඥා කණු ස්ථාපිත කොට අදට වසර එකසිය එකක් සපිරෙයි.

අගෝස්තු පස් වැනි බදාදාට සැමරෙන මාර්ග සංඥා සංවත්සරය වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රයේ ප්‍රධාන සෙවුම් පිටුව වෙන්ව තිබීම විශේෂයක්.

දහ නම වන සියවසේ අග භාගයේ ලන්ඩන් නුවර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ලොව ප්‍රථම මාර්ග සංඥා කනුව සවි කරන ලදී.

විදුලි බලයෙන් නොව ගෑස් බලයෙන් ක්‍රියා කළ මෙම සංඥා කනුවේ ලාම්පු පත්තු වීම සහ නිවීම පාලනය කිරීම රථ වාහන පොලිස් නිලධාරීන් අතින් සිදු කෙරිණ.

Image copyright Reuters

කෙසේ වෙතත් ගෑස් බලයෙන් ක්‍රියා කරන සංඥා කණු ව්‍යාපෘතිය කෙටි කාලයකින් අත්හැර දැමීමට සිදු විය.

මෙයට හේතු වූයේ මාර්ග යටින් ඉදි කර තිබූ ගෑස් නළයක් පිපිරීම මගින් 1869 ඇතිවූ අනතුරකි.

එම අනතුරෙන් මාර්ග සංඥා ලාම්පු පාලනය කරමින් සිටි පොලිස් නිලධාරියාට බරපතළ ලෙස තුවාල සිදු විය.

රතු කොළ එළි

අනතුර සිදු වී වසර තිහක කාලයක් ඇවෑමෙන් ඇමරිකානු ජාතික පුද්ගලයෙකු විදුලි බලය යොදා ගෙන සංඥා බුබුළු නැවත නිර්මාණය කිරීමට සමත් වූ අතර ඔහු විසින් රතු සහ කොළ පැහැති එලිය මාර්ග සංඥා වෙනුවෙන් හඳුන්වා දුන්නේය.

1912 දී ඇමරිකාවේ සෝල්ට් ලේක් නුවර විසූ හිටපු රහස් පරීක්ෂකයකු වූ ලෙස්ටර් වයර් විසින් පෙරළිකාර සොයා ගැනීමක් සිදු කළ අතර එමගින් සංඥා කණු ඈත සිට පාලනය කිරීමට හැකියාව ලැබුණි.

Image copyright PA

මෙම සොයා ගැනීමත් සමග ඇමරිකාව පුරාම මාර්ග සංඥා ලාම්පු කණු සවි කරන ලදි.

එතැන් පටන් මෙම මාර්ග සංඥා කණු භාවිතයේදී පැන නගින ගැටළු විසඳීමට කළ උත්සාහයන් හේතුවෙන් අද අප භාවිතා කරන නවීන පද්ධතිය දක්වා මාර්ග සංඥා පද්ධතිය වැඩි දියුණු කෙරිණ.

උදාහරණයක් ලෙස අතීතයේදී නගරයක සවි කර ඇති මාර්ග සංඥා කණු පාලනය කිරීමට පැය 24ක කාර්යය මණ්ඩලයක් අවශ්‍ය වූ අතර එම ගැටලුවෙන් මිදීමට ස්වයංක්‍රීයව පාලනය වන මාර්ග සංඥා පද්ධතිය නිර්මාණය විය.