වසීම් අක්‍රම්ට වෙඩි ප්‍රහාරයක්

Image copyright AFP

පකිස්තාන හිටපු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් ගමන් ගත් වාහනයට කරච්චි නුවර ජාතික ක්‍රීඩාංගණය අසල දී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව ‘එක්ස්ප්‍රස් නිවුස්’ පුවත්පත වාර්තා කරයි.

හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් වසීම් අක්‍රම් ගමන් ගත් වාහනයට වෙඩි තැබීමට පටන් ගත් අතර ඔහු කාරයෙන් ඉවතට බැස ක්‍රීඩාංගණය දෙසට යාමට උත්සාහ කරන විට ඔහු ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදු වූ බවයි පළමුවෙන් වාර්තා වුනේ.

කෙසේ වෙතත් වසීම් අක්‍රම්ට කිසිදු තුවාලයක් සිදු වී නැති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද බවයි වාර්තා වන්නේ.

මේ වන විට පොලිසිය ප්‍රහාරය සිදු වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ අරඹා තිබේ.

Image copyright AP

‘එක්ස්ප්‍රස් නිවුස්’ පුවත්පත සමග කළ කතා බහක දී වසීම් අක්‍රම් කියා සිටියේ ප්‍රහාරකයන් පැමිණි මෝටර් රථයේ අංක පුවරුව සටහන් කර ගත් අතර එම තොරතුරු පොලිසියට ලබා දුන් බවයි.

පකිස්තාන හිටපු ක්‍රිකට් නායකයා ජනමාධ්‍යට කියා සිටියේ "වාහනයක් ඇවිත් මගේ කාරයේ ගැටුනා, මම ඔහුට නවතින්න කියල සංඥා කළාම ඔහු කාරයෙන් පිටතට ඇවිත් මගේ කාරය දෙසට වෙඩි තැබීමට පටන් ගත්තා" යනුවෙනි.

"මම හිතන්නේ ප්‍රහාරකයා අනිවාර්යෙන්ම රාජ්‍ය නිලධාරියකු කියලයි" වැඩි දුරටත් අදහස් දැක්වූ වසීම් අක්‍රම් කියා සිටයේය.

කරච්චි නුවර ජාතික ක්‍රීඩාංගණයේ වේග පන්දු යවන්නන් පුහුණු කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට ගිය අවස්ථාවේදීයි ඔහු මෙම ප්‍රහාරයට ලක් වුනේ.