‘උරුමය’රාජාලියාගේ ඉරණම

Image copyright Getty

‘පමනා’(Pamana) දුර්ලභ වර්ගයකට අයත් පිලිපීන රාජාලියෙක්. වනාන්තරයට ඉතිරිව ඇත්තේ එම වර්ගයේ රාජාලි ජෝඩු හාරසීයක් පමණකැයි සැලකේ.

‘පමනා’ගේ නමේ තේරුම ‘උරුමය’.

විශේෂයෙන් හිස, ගෙළ සහ ලැම පුරා වැඩුන ඝන කේශර කලාපය මේ රාජාලි වර්ගයාට උරුම පරිසර දායාදයක්.

2012 වසරේ තුවක්කු කරුවන්ගේ ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලැබ සිටි ‘පමනා’පරිසර සංරක්ෂකයන්ගේ අතට පත්ව පිලිපීන රාජාලි මධ්‍යස්ථානයේ දී වසර තුනක පමන කාලයක් ලද ප්‍රතිකාර වලින් අනතුරුව වනයට මුදා හැර තිබුනේ මෙයින් මාස දෙකකට පමණ පෙර.

එහෙත් සුන්දර වන ගැබ තුළ නිදහසේ පියඹා යාමට එම පක්ෂියාට නිදහස නොදුන්නේ මිනිසුන්.

යළිත් වෙඩි තැබීමකට ලක්ව තුවාල ලද ‘පමනා’ගේ මළ සිරුරයි දකුණු පිලිපීනයේ පරිසර සංරක්ෂකයන්ට මෙවර හමු වුනේ.

වෙඩි තැබීම සිදු කරනු ලැබ තිබුණේ ‘පමනා’ පරිසරයට මුදා හරින ලද වන ගැබ ආසන්නයේදී.

රාජාලි දඩයම

Image copyright Getty

මෙම දුර්ලභ රාජලින්ට වෙඩි තබනු ලැබීම දඬුවම් ලැබිය හැකි වරදක්. දඬුවම වසර දොළහක සිර දඬුවමක් සහ පෙසෝ දශ ලක්ෂයක දඩයක්.

පිලිපීන රාජාලියා ලෝකයේ දැවැන්තම රාජාලි වර්ග කීපයෙන් එක් වර්ගයක්. මීටරයක් පමණ උස යන මෙම වර්ගයේ පිලිපීන රාජාලියකු පියාපත් විදා හළ විට මීටර් දෙකක පමණ කලාපයක් ඉන් ආවරණය වෙයි.

‘පමනා’ ගැහැණු සතෙක්. වෙඩි වැදීමෙන් ලද තුවාල වලින් සුවපත් ඇය පිලිපීනයේ ‘Hamihuitan’ වනාන්තරයට මුදා හැරුණේ පසුගිය ජූනි මාසයේ 12 වෙනිදා.

එය පිලිපීනයේ නිදහස් දිනයයි.

සිරුරට සවි කරන ලද කුඩා උපකරණයක් මගින් ‘පමනා’ අධීක්ෂණය කරමින් සිටි පිලිපීන වන සංරක්ෂකයන්ට පෙනී ගියේ ඇයගේ සංචාරයේ ඇණ හිටීමක් සිදුව ඇති බවක්.

තුවක්කුව ගෙනා අවාසනාවක්

Image caption වැහි වනාන්තරයක්

ඒ සමඟ ‘පමනා’ සොයා ගිය වන ජීවී සංරක්ෂකයන්ට දිරාපත් වීමට පටන් ගත් ඇයගේ මළ සිරුර හමු වූ බවයි පිලිපීන සඟරාවක්(Philippine Inquirer) වාර්තා කරන්නේ.

එම අපරාධය සම්බන්ධයෙන් වාර්තාකරුවන් ඉදිරියේ අදහස් දක්වමින් පිලිපීන රාජාලි සංරක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ ජෝසප් සැල්වදෝර් කියා සිටියේ ‘තුවක්කුවක් අතට ගත් පුද්ගලයකු තමාට ඕනෑම දෙයකට වෙඩි තැබිය හැකැයි’ සිතීම අවාසනාවක් බවයි.

පිලිපීන රාජාලියා ලෝකයේ වඳ වීමට ලක්ව ඇති ඉතා දුර්ලභ පක්ෂි වර්ගයක්.

එම වඳ වීමට හේතුව එම ජීවීන්ට උරුම වනවාසය වන වැහි වනාන්තරය වැනසීම සහ දඩයමයි.